by Staff Writer . 05-11-2021 | 7:24 PM
COLOMBO (NEWS1ST): රටේ ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඈත් කර කෘෂි ඉඩම් මුඩු ඉඩම් බවට පත්කොට කුණු කොල්ලයට බහුජාතික සමාගම්වලට ඉඩම් ලබාදීමේ කූඨ න්‍යාය පත්‍රයක යටි අරමුණු ක්‍රමක්‍රමයෙන් කරළියට එමින් ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, පර්යේෂණාත්මක සොයා බැලීමකින් තොරව රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට එකම හේතුව රසායනික පොහොර භාවිතය බවට හුවා දක්වමින් ක්ෂණිකව රසායනික පොහොර තහනම් කිරීමට පියවර ගැනීම අමනෝඥ ක්‍රියාවක් බවයි.
තව ද උද්ගතව ඇති ගැටලු සහගත තත්ත්වය හමුවේ වී වගාවට අමතරව සහල් මෝල් හිමියන්, තේ ගොවීන් , කුරුඳු ගොවීන් මෙන්ම මල් , එළවළු , පලතුරු වගාකරවන් ද දැඩි අර්බූදයකට මුහුණදී සිටින බව විපක්ෂ නායකවරයා කියා සිටී.
ආණ්ඩුව මෙරට නීතිරීති පවා උල්ලංඝණය කරමින් ශාක නිරෝධායන පනත හා SLS ප්‍රමිතීන් පවා නොසලකා හරිමින් ප්‍රමිතියකින් තොර පොහොර ගෙන ඒමට උත්සාහ දැරීම හරහා දේශීය ගොවිබිම් ඇතුළු සමස්ත භූමියම විපතේ හෙළීමක් බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මෙම පොහොර ගෙන්වීම නිසා නව ව්‍යාපාර පැලැන්තියක් බිහි වීමත්, රාජ තාන්ත්‍රික අර්බුදයක් මතු කිරීමටත් සමත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් තුනෙන් එකක් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා අතර ශ්‍රම බලකායෙන් 4 න් එකක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන අතර වී වගාවට සම්බන්ධ පවුල් ඒකක ගණන මිලියන 1.8 කි.
වැඩිවන ජනගහනයට අනුව සහල් නිෂ්පාදනය වාර්ෂිකව 1% කින් ඉහළ දැමිය යුතුව ඇති පසුබිමක හදිසියේ කාබනීකරණයට යොමු වීම ලෝකය ඉදිරියේ කැපී පෙනෙන්නෙකු බවට පත්වීමේ එක් පුද්ගලයෙකුගේ සිහිනයක් වෙනුවෙන් සමස්ත පුරවැසියන්ගේ ජීවිත උගසට තැබීමක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
මේ සමග විපක්ෂ නායකවරයා සිහිපත් කරන්නේ 2010 වන විට ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂණය කිරීමට හැකියාව තිබූ රටක්ව පැවති බවයි.
2019 වන විට ලොව ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 66 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබිණ.
දැන් අත්ව ඇති ඉරණම කුමක්ද ?
විපක්ෂ නායකවරයා පවසන්නේ, භයංකාර ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවයි.
බතලේගොඩ වී පර්යේෂණායතනය සිදු කර ඇති පර්යේෂණවලට අනුව කාබනික වගාව මගින් අස්වැන්න අඩුවීම 21% - 30 %ක් වන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් කියා සිටින්නේ, විද්‍යාත්මකව තහවුරු වූ කරුණු මත නොසිට මිත්‍යාමත පදනම්ව කෘෂිකර්මාන්තය සම්බන්ධ තීරණ ගැනීම හරහා විශාල ශ්‍රම බලකායක අනාගතය අඳුරු කර ඇති බවයි.
තව ද වගා හානියට පත් ගොවීන්ට වන්දි ලබාදෙන බවට පුරසාරම් දෙඩුව ද ඒ සඳහා වන පිළිගත හැකි යාන්ත්‍රණයක් හෝ පදනමක් මේ දක්වා රජය ඉදිරිපත් කර නොමැති බව ද පවසන විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටින්නේ, ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ යහපත උදෙසා සියලු දෙනාට ම පිළිගත හැකි වැඩි අස්වැන්නක් තහවුරු කෙරෙන තිරසර නව කෘෂිකාර්මික වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවයි.