දිවි නැගුම ලිත් නඩුව පවත්වාගෙන යන්නේද? නැද්ද? නීතිපති ස්ථාවරය 11 අධිකරණයට

by Staff Writer . 05-11-2021 | 4:41 PM

COLOMBO (NEWS1ST): මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ඒ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවට පෙනී සිටීම සඳහායි. බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 11 වැනිදා අධිකරණයට දැනුම් දෙන බවයි. අද විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා පත්‍ර කියවා දුන් අතර ඔවුන් එම අධිචෝදනාවලට නිවැරදිකරුවන් බව පැවසීම නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළේ ය. පැමිණිල්ලේ 06 වැනි සාක්ෂිකරු ලෙස නම් කර තිබූ එවකට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අධිකරණය හමුවේ සාක්ෂි දුන්නේ ය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සහ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. එබැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගන්නා ලෙස නීතිපතිවරයා හමුවේ ලිඛිතව ඉල්ලීමක් කළ බව ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ය. අද විවෘත අධිකරණය හමුවේ කැඳවූ සාක්ෂිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර ඔහුගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා එහිදී සඳහන් කළේ ය.