අද (04) රාත්‍රියෙත් තද වැසි

මහ වැසි නිසා වූ ආපදාවලින් සිව් දෙනෙකුට ජීවිත අහිමිවෙයි

by Staff Writer . 04-11-2021 | 7:45 PM

COLOMBO (NEWS1ST):  දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදාවලින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 6034 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. රත්නපුර , කෑගල්ල , නුවරඑළිය , මහනුවර , මුලතිව් , යාපනය , මන්නාරම, බදුල්ල , පුත්තලම , කොළඹ , ගාල්ල , ත්‍රිකුණාමලය එම දිස්ත්‍රික්කයි. ආරක්ෂිත කඳවුරු 04ක සිටින පුද්ගලයින් සංඛ්‍යාව 125 කි. පස් කඳු කඩා වැටීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස 03 කට පුර්ණ හානි සිදුව ඇති අතර නිවාස 432 කට අර්ධ හානි සිදුව තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 25 ක් ජලයෙන් යටවී තිබුනේ ඉහළ කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ඇල්ජින් ඔය පිටාර ගැලීමෙනි. මාතලේ උකුවෙල, රත්වත්ත පහළ කොටසේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් හේතුවෙන් නිවාස 10 ක ජනතාව පීඩාවට පත්ව සිටී. බෙරගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට බ්ලැක්වුඩ් ප්‍රදේශයෙන් ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා මතුවිය. මේ අතර යතුරු පැදි තුනකට හානි සිදුව තිබුණේ, පේරාදෙණිය ගම්පොල මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් අසලට පස්කන්දක් කඩා වැටීමෙනි. මැණික් ගඟේ ජල මට්ටම ඉහළයාමත් සමග සෙල්ලකතරගම ගඟේඝණ දේවාල භූමිය ද ජලයෙන් යටවිය. මේ අතර පස්සර - ඇල්ල ප්‍රධාන මාර්ගයේ නමුලුකුළ 12 කණුව ආසන්නයෙන් පස්කඳු සහ ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය වසා දැමුණූ අතර අසළ පිහිටි නිවාස දෙකකට ද හානි සිදුව තිබේ. මේ අතර ජලාශ 04 ක වාං දොරටු මේ වන විට විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ ය. දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑමේ නිවේදනය යළි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අද රාත්‍රියේ ත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ ,ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළකා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.