මහබාගේ මාරක අනතුරක්... ජීප් රථය පැදවූ 16 හැවිරිදි ළමයා පොලිස් අත්අඩංගුවට

by Sagarika Chathumali 04-11-2021 | 1:10 PM

COLOMBO (NEWS1ST):  මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, අද (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති අදාළ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මීගමු සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක , ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. වයස අවුරුදු 16 ක ළමයෙකු අදාළ ජීප් රථය පදවා ගෙන ගොස් ඇති බව හෙළිවී ඇති අතර ඔහු සහ ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ තතත්වය බරපතළ බවත් අනෙක් දෙදෙනා දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අනතුරින් මියගොස් ඇත්තේ, මහබාගේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.