විදුලි බිඳවැටීමකට ඉඩක් නැහැ.....විදුලිබල ඇමති

විදුලි බිඳ වැටීමකට ඉඩක් නැහැ.....විදුලිබල ඇමති සහතික වෙයි

by Staff Writer . 03-11-2021 | 8:53 AM

COLOMBO (NEWS1ST):  ඛනිජ තෙල් , වරාය, සහ විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතා ව්‍යාපාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමිනි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ, අද දිනයේ සිදුවන බිඳවැටීම්වල වගකීම් වෘත්තී සමිති භාර නොගන්නා බවයි. විදුලි, ඛනිජ තෙල් සහ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මුහුණ දීමට ආණ්ඩුව සුදානම් ද? මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, සුළු පිරිසක් හැර අන් සියලු සේවකයින් අද රාජකාරීවල නිරත වන බවයි. අමාත්‍යවරයා කියා සිටියේ, ඒ අනුව විදුලිය කැපීමක් සිදු නොවන බවයි. විදුලි බල මණ්ඩලයේ සේවකයින් අද සහ හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නේ නම් එය බරපතළ විනය වීරෝධී ක්‍රියාවක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සබාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩූ මහතා ඊයේ කෙළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසී ය.