ගුරුවරුන්ට සහය දක්වා දෙමව්පියනු ත් මහ පාරට

by Staff Writer . 03-11-2021 | 10:22 PM

COLOMBO (NEWS1ST):  ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි අරගලයට අද දෙමව්පියෝ ද එක් වූහ.

අද පෙරවරුවේ පාසල් ඉදිරිපිට විරෝධතාවල නිරතවූ දෙමව්පියන් පවසන්නේ, ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය ක්‍රියා නොකිරීම හේතුවෙන් තම දරුවන් පිඩාවට පත්ව සිටින බවයි. කොළඹ ආමර්වීදියේ ජේතවනාරාම විහාරස්ථානය අසල පැවති විරෝධතාවට ගුරු සංගම් නියෝජිතවරු ද සහභාගි වූහ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවුසවේ, අයවැයට පෙර ප්‍රශ්නයට විසඳුම් ලබා නොදුන හොත් අරගලය තවත් ඉදිරියට ම ගෙන යන බවයි.
''ආණ්ඩුව සූදානම් වුණා ගුරුවරුන් දෙමව්පියන්ව භේද කරන්න. අද අපි එකතුවෙලා සටන් කරන්නෙ. අපි ආණ්ඩුවට කියනවා. අයවැයට පෙර මේ ප්‍රශ්නෙට විසඳුමක් ඕන.එහෙම නැති වුණොත් අපි අපේ අරගලය තවත් ඉස්සරහට ගෙනියනවා.අපි මේ වන විට සෙසු වෘත්තිය සමිති එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. බැසිල් රාජපක්ෂ කියන, මේ මුදල් ඇමැතිවරයා ගුරු සංගම්වලට සාකච්ඡාවක් නොදි අත්තනෝමතිකව පණ්ඩිතයෙක් වගේ ඔක්කොම තමන් දන්නවා වගේ තමයි ඉන්නේ.අපි කියනවා අපි පෙන්වන්නම් උඹලට අපේ බලය''
ගල්කිස්ස, මුල්ලේරියාව, හෝමාගම ප්‍රදේශවලදී ද දෙමව්පියෝ විරෝධතා පැවැත්වූහ. ගම්පහ නගරයේ පාසැල් රැසක් ඉදිරිපිට රැස්වූ දෙමව්පියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. කෑගල්ල , කළුතර , ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, දඹුල්ල, මහනුවර, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකත් අද පෙරවරුවේ විරෝධතා පැවැත්වූහ. මේ අතර මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ මැදිහත් වීමක් හේතුවෙන් ඊට බාධා එල්ල විය.