හානිකර බැක්ටීරියා සහිත චීන පොහොර නැව වැලිගම මුහුදේ

හානිකර බැක්ටීරියා සහිත චීන පොහොර නැව වැලිගම මුහුදෙන් මතුවෙයි

by Sagarika Chathumali 02-11-2021 | 10:17 AM

COLOMBO (NEWS1ST):  දින කිහිපයක් අතුරුදන්ව තිබූ චීන පොහොර නැව අද යළිත් #SeaOfSriLanka හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් මතුවිය.

ඒ මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරකිනි. පැනමා ධජය යටතේ යාත්‍රා කරන මේ නැව නැවතත් ජාත්‍යන්තර නාවික ගමනාගමන දත්ත පද්ධතිවල පෙන්වන්නේ හිපෝ ස්ප්‍රිට් නමිනි. වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් රැඳී සිටින නැවේ දිශානතිය කොළඹ වරාය දෙසට යොමුවී ඇති ආකාරයක් ජාත්‍යන්තර නෞකා ගමනාගමන දත්ත පද්ධති නිරීක්ෂණයේදී පෙනී යයි. උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් ඇතැයි, මෙරට ශාඛ නිරෝධායන සේවය දෙවරක්ම තහවුරු කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 රැගෙන මෙම නැව යාත්‍රාකරමින් සිටී. පසුගිය සැප්තැම්බර් 22 චීනයේ චින්දාඕ වරායෙන් පිටත්වී තිබුණේ, කොළඹ වරායට පැමිණෙන බවට ප්‍රසිද්ධ කරමිනි. නමුත් අතරමගදී ගමන් මාර්ගය වෙනස්කල නැව සිංගප්පූරුවට යාත්‍රාකල අතර අවසන්වරට එය ඔක්තෝම්බර් 13 වනදා ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පද්ධතිවල දක්නට ලැබුණේ මලක්කා සමුද්‍ර සන්ධියේයි. ඉන් සපසුව හිපෝ ස්ප්‍රිට් නැව පිළිබඳව තොරතුරක් නොලැබුණ අතර එක්වරම එය යාල වනෝද්‍යානයට සමීපව හම්බන්තොට මුහුදේ ඔක්තෝම්බර් 24 වනදා දක්නට ලැබුණේ, සෙයියෝ එක්ස්ප්ලෝරර් නමිනි. එම අවස්ථාවේ දත්ත සටහන් අනුව නෞකාව හම්බන්තොටින් පිටත ගැඹුරු මුහුදට යාත්‍රා කරන ආකාරයක් දක්නට ලැබුණ අතර යළිත් දත්ත සටහන්වලින් එය අතුරුදන් විය. මේ අතර ඔක්තෝම්බර් 31 වනදා නැවේ දත්ත යාවත්කාලීන කර තිබූ අතර හම්බන්තොට මුහුදේ 24 වනදා දිස්වූ නැව හිපෝ ස්ප්‍රිට් ලෙස යාවත්කාලීන කළ දත්තවල සඳහන්ව තිබිණ. එය නැවතත් අද උදෑසන 9.31 ට මතුවුණේ, මාතර වැලිගම සිට නාවික සැතපුම් 61 ක් පමණ දුරින් ශ්‍රී ලංකා මුහුදෙනි. රටවටා මුහුදේ යාත්‍රා කරන මේ නැවට සිදුවන්නේ කුමක් ද?