''නීතිපති දෙපාර්තමේන්තුව 20 කට වැඩි නඩු ගණනක් ඉල්ලා අස්කරගෙන'' - මුජිබර් රහුමාන්

by Staff Writer . 02-11-2021 | 10:42 PM

COLOMBO (NEWS1ST):  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් පිරිසක් අද නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබිණ.

ඒ, 2019 නොවැම්බර් 16 වැනිදායින් පසුව මේ දක්වා ඉල්ලා අස්කර ගත් නඩු පිළිබඳව තොරතුරු විමසීම සඳහායි. ඔවුන් මේ තොරතුරු ඉල්ලා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේයි. එහි පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ, මේ වනවිට දේශපාලඥයින්ට හා ආණ්ඩුව සමග සබඳතා ඇති පිරිස්වලට එරෙහිව ගොනු කර ඇති නඩු 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගෙන ඇති බවයි.
''2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉදන් අද වෙනකොට මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට පහුගිය කාලේ විශාල නඩු ප්‍රමාණයක් වැටුණා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න ආණ්ඩුවට උදව් කරන ව්‍යාපාරිකයන්ට විශාල නඩු ප්‍රමාණයක් වැටුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධකම් තිබුණු සමහර රාජ්‍ය නිලධාරීන්ට නඩු ප්‍රමාණයක් වැටුණා. ඒ නඩු ඔක්කෝම අද වෙනකොට අපිට පේනවා නීතිපතිතුමා ඒ නඩු ඉල්ලා අස්කරගෙන යනවා''
මේ අතර මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ, ස්වාධීන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ආණ්ඩුවක් මාරුවීම් මත වෙනස් විය නොහැකි බවයි.
''එක රටක් එක නීතියක් කියලා තමයි මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය ගත්තේ නමුත් මේ රටේ එක රටක් එක නීතියක් නෙවෙයි එක රටක් නීති හැටක් වෙලා තියෙනවා. මේ ස්වාධීන කියන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවක් මාරුවුණා කියලා නඩු වෙනස් වෙන්න විදිහක් නෑ. නඩු ඉල්ලා අස්කරගන්න විදිහක් නෑ''