''දුෂ්කර අවස්ථාවල එක පිළේ සිටි ඔවුන් අපේ අතකොළු නොවෙයි''- අගමැති

by Sagarika Chathumali 02-11-2021 | 6:20 PM

COLOMBO (NEWS1ST):  දුෂ්කර අවස්ථාවල එක පිළක සිටිමින් එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පිරිස ඈත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ, එදා සිටි සියලු පක්ෂ තවදුරටත් එකට සිටිය යුතු බවත් සමගිය රැකීම ප්‍රධාන පක්ෂයේ වගකීම වන බවත් ය.
''දුෂ්කර අවස්ථාවල අපිට අපේ එක පිළේ සිටි අය එක අරමුණකට සටන් කළ අය ඒ කවුරුත් අපිට ඈත් කරන්න බැහැ. ඒ අය අපේ ආධාරක නොවෙයි. අපේ කිහිලිකරු නොවෙයි. ඒ අය අපේ අතකොළු ත් නොවෙයි. ඒ නිසා එදා සිටි සියලු පක්ෂ එකට ඉන්න ඕන. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීමක් වෙනවා''
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය අමතමිනි. පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනය ආරම්භ වූයේ, එහි නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, පක්ෂයේ පැවැත්ම තහවුරු කිරීමට නම්, ආණ්ඩු බලය පවතින කාලය තුළ  පක්ෂය ජනතාව අතර දේශපාලනය කළ යුතු බවයි. ගුරුවර්ජනය සහ ගොවි උද්ඝෝෂණ මෙතරම් දුරදිග ගෙස් ඇත්තේ, පක්ෂය දේශපාලන කටයුතුවලින් ඈත්වීම නිසා බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
''ගුරු වර්ජනය ඇඳිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත්වුණ නිසයි මං විශ්වාස කරන්නේ , ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතළ විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසයි''
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්මේලනය ඇමතූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ සම්මේලනය වෙනුවෙන් වීඩියෝ තාක්ෂණ ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළහ. සම්මේලනය අමතමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ, කිසිවකු පරාජය කිරීමට නොව ජනතාව දිනවීමට බවයි. මිතුරන්ගේ ආශිර්වාදයත් ප්‍රතිවාදින්ගේ අභියෝගත් යන දෙකම ආශිර්වාදයක් ලෙස භාර ගත් බවත් අභියෝග සියල්ලක්ම ශක්තියක් වූ බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසී ය. මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයෝ හා සාමාජිකයෝ ද සමුළුව සඳහා එකව සිටියහ. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  බිහිවූයේ, 2016 වසරේ නොවැම්බර් 01 වැනිදායි.