'ගැසට්වලින් වැඩබිමේ සටන මර්දනය කරන්න ඉඩ දෙන්නෙ නෑ'

අතිවිශේෂ ගැසට්වලින් වැඩබිමේ සටන මර්දනය කරන්න ඉඩ දෙන්නෙ නෑ - ආනන්ද පාලිත

by Staff Writer . 02-11-2021 | 10:14 PM

COLOMBO (NEWS1ST):  LNG බලාගාර ගිවිසුමට විරෝධය පළ කරමින් , හෙට (03) දහවල් 12.00 ට තෙල් වරාය සහ විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇතැයි තෙල් වරාය විදුලිය සුරැකිමේ ඒකාබද්ධ බලවේග අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේ ය.

තෙල් වරාය විදුලිය සුරැකිමේ ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසුවේ, කොටුවේ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන මූලස්ථානය වෙත රට පුරා සිටින විදුලිබල මණ්ඩල සේවකයින් කැඳවන බවයි.
''හෙට දහවල් 12 ට මේ රටේ වැඩබිම් සටන අරඹන දිනය, හෙට දහවල් 12 ට විදුලිබල මණ්ඩල ප්‍රධාන මූලස්ථානය කොටුවේ සතර දෙසින් සිටින විදුලිබල මණ්ඩල සේවකයින් කැඳවනවා. වරාය භූමියේ ප්‍රධාන තැන ඛාන් ඔරලෝසු කණුව ගාවට වරායේ සේවකයින්ව කැඳවනවා. තෙල් සංස්ථාව කොලොන්නාව ප්‍රධාන ගබඩාව ඉදිරියටත් සපුගස්කන්ද පිරිපහදු භූමිය ඉදිරියටත් විරෝධතා සඳහා හෙට ආරම්භ කරනවා''
තෙල් වරාය විදුලිය සුරැකිමේ ඒකාබද්ධ බලවේගය අවධාරණය කර සිටින්නේ, ආණ්ඩුව අඩියක් පස්සට ගන්නේ නම්, මෙම සියලු ව්‍යාපාර නවතා දමන බවයි. කෙසේ වෙතත් අතිවිශේෂ ගැසට් මගින් මොහොතකට හෝ ආණ්ඩුවට වැඩබිමේ සටන මර්දනය කිරීමට ඉඩ නොදෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර විදුලි බල මණ්ඩලයේ සේවකයින් හෙට සහ අනිද්දා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ නම්, එය බරපතළ විනය වීරෝධී ක්‍රියාවක් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩූ මහතා පවසයි. අද කෙළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා පැවසුවේ, සේවකයින් නීතියට පටහැනිව සමාජ විරෝධී ක්‍රියාවකට මැදිහත් වනු ඇතැයි, සභාපතිවරයා ලෙස තමන් බලාපොරොත්තු නොවන බවයි.
''එහෙම සිදුවෙනවා සිදු වෙනවා නම්, ඒක සම්බන්ධයෙන් ඇතිවන ප්‍රතිවිපාකවලට ඒ අය පෞද්ගලිකවම වගබලා ගත යුතුයි. රජයට පුළුවන් මේක දිහා බලන්න රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් විදියටත් දකින්න පුළුවන් රාජ්‍ය පෙරළන කුමන්ත්‍රණයක් විදියටත් දකින්න පුළුවන්. ඒක මට කියන්න බෑ කොයි පැත්තට යයිද කියලා''