පෘථිවියේ පැවැත්මට සහයෝගීත්වයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි

by Staff Writer . 01-11-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST): පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදි පැවැත්වෙන COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමිනි. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහයවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා පැවසුවේ නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි. මහජන සෞඛ්‍ය ගැටලු , ජල දූෂණය , පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය ද සීමා කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව රටවල් 197ක රාජ්‍ය නායකයන් , රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන් , ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.