නව ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම දන්නේ නෑ..

එක රටක්, එක නීතියක්” ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම ගැන දන්නේ නෑ.. - අලි සබ්‍රි

by Staff writer 31-10-2021 | 10:03 PM

COLOMBO (NEWS1ST): බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් “එක රටක්, එක නීතියක්” ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදැන සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

එම පුවත්පත අද වාර්තා කළේ, අදාළ කාර්ය සාධන බලකාය පිහිටුවීමේදී අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවයි. ඒ පිළිබද තමා සතුටු නොවන බව අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. මේ අතර අදාළ කාර්ය සාධන බලකායේ සාමාජිකයෙකු ලෙස කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් මහතා පත් කර ඇතත් ඔහු ඒ පිළිබඳව දැනගෙන ඇත්තේ මාධ්‍ය හරහා බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. රහුමාන් මහතා හිටපු අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතා නායකත්වය දරණ එක්සත් ප්‍රගතිශීලි සන්ධානයේ සාමාජිකයෙකු වන අතර රහුමාන් මහතා අදාළ කාර්ය සාධක බලකාටයේ සාමාජිකත්වය භාර ගතහොත් ඔහුට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව බෂීර් සේගුදාවුද් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්තිල් තොණ්ඩමන් මහතා, මෙම ජනාධිපති කාර්ය සාධන බලකායෙන් දෙමළ ප්‍රජාව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. තොණ්ඩමන් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත්තේ , කාර්ය සාධන බලකායේ සිටිය යුතු දෙමළ ජාතිකයින්ගේ නම් යෝජනා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා දෙමළ සාමාජිකයින් පත් කරන බවට සහතික වූ බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සඳහන් කර ඇත්තේ “ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ” නායකත්වය යටතේ එක් රටක්, එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් කම්පනයට සහ කලකිරීමට පත් වූ බවයි. එහි ලේකම් ආශ් ශෙයික් එම් අරකම් නූරාමිත් විසින් නිකුත් කළ එම නිවේදනයේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ නම සඳහන් නොවන බවත්, උන්වහන්සේව අන්දෝලනාත්මක පුද්ලගයෙකු ලෙස හඳුන්වා ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.