by Staff Writer . 30-10-2021 | 9:30 PM
COLOMBO (NEWS1ST): අපේ රාජ්‍ය බැංකුවකට විශාල කැළලක් මතුවී ඇත්තේ චීන පොහොර ආනයනයේදී ඇතිවූ ගැටලුවක් මුල්කර ගෙනයි.
උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොර නැවට ගෙවීම් නොකරන ලෙස අධිකරණය දුන් තීන්දුවක් මහජන බැංකුව අනුගමනය කළේ ය.
මේ නිසා චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ලේඛනගත කළේ ය.
අපේ රටේ ජනහද දිනාගත් කීර්තිමක් බැංකුවක් මෙසේ අසාදු ලේඛනගතවීමට හේතුව පිළිබඳව දැනුවත්වීම වැදගත් ය.
මේ මහජන බැංකුව පිළිබඳව නිව්ස්ෆස්ට් තබන සටහනක්..
1961 ජූලි මස පළවෙනි ආරම්භ වූ මහජන බැංකුව මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට මෙන්ම සමාජ ප්‍රගමනයට ද සිදුකර ඇත්තේ ඉමහත් දායකත්වයකි.
බැංකුව ආරම්භයේ සිටම මෙරට ජනහද හඳුනාගමින් රටේ සියලුම ක්ෂේත්‍රවල මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළේ ය.
1967 දී හඳුන්වා දුන් අතමාරු ණය යෝජනා ක්‍රමය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හැදු එකකි.
1983 සිවිල් කෝලාහලය වැනි සෑම ව්‍යසනයකදීම නැගී සීටීමට ජනතාවට අත දුන්නේ ය.
සාමාන්‍ය මිනිසුන් වැළඳගත් බංකුවක් ලෙස රටේ ජනතාවගේ ඉතුරුම් සුරක්ෂිත කළේ ය.
වර්තමානයේ අපේ රටේ ආනයන අපනයන ක්ෂේත්‍රයේ මූල්‍ය පහසුකම් සපයන ප්‍රධානතම බැංකුවක් ලෙස ද මහජන බැංකුව සිදුකරන්නේ විශාල සේවයකි.
පසුගිය කාලය තුළ මහා පරිමාණ පෞද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකම ප්‍රධාන මූල්‍ය සහකරු වූයේ ද මහජන බැංකුවයි.
කොවිඩ් 19 වසංගතයේදී, මේ බැංකුව ජාතියට, ලබා දුන්නේ, විශිෂ්ට සහයකි.
කොවිඩ් ව්‍යසනය අතරදීම බැංකුව 2020 දී ලෝකයේ ඉහළ බැංකු 1,000 අතරට පත්වීම, එහි කළමණාකාරීත්‍වයත් සේවක පිරිසත් දැක්වූ කැපවීම පිළිඹීමු කරන්නකි.
ආසියාවේ විශාලතම බැංකු 400 අතරට පිළිගැනීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල්කරණ බැංකුව සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් අගය කළ හැකි සමාගම ලෙස පිළිගැනීමට ලක්විම මහජන බැංකුව මෑත කාලයේ ලබාගත් නොමැකෙන ජයග්‍රහණ.
සාමාන්‍ය ජනතාව වැළඳගත් අදටත් විශිෂ්ට මූල්‍ය ශක්තියකින් හෙබි මෙවැනි දේශීය බැංකුවක් චිනයේ අසාදු ලේඛනයට වැටුණේ කෙසේ ද?
ඒ මූල්‍ය තත්ත්වය බිඳ වැටීම හෝ අක්‍රමිකතාවක් හේතුවෙන් නම් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අධිකරණ නියෝගයකට ගරු කළ නිසාවෙනි.
රටේ මෙන්ම ජාතියේ අවාසනාවකට හේතු වී ඇත්තේ රටේ කීර්තිමත් බැංකුවක කිර්ති නාමය කෙලසූ විදේශ බලවේගවලට එරෙහි වීමට අදාළ අංශවලට නොහැකි වීමයි.
විශේෂයෙන්ම අපේ රටේ නීතිය අනුව අධිකරණ නියෝගයක් පිළිපැදීම හේතුවෙන් චීන තානාපති කාර්යාලය බැංකුව අසාධු ලේඛනගතකිරීම මහජන බැංකුවට පමණක් නොව රටේ ජනතාවටත් කළ නිගරුවක් නොවේ ද?
චීනය එසේ කළත් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ගෙන්වූ එම සමාගම අසාදු ලේඛනගත කිරීමට අපේ රටට තවමත් හැකිවී නොමැත.
තවමත් අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර රැගත් නැව තවමත් අප රට අවට රැඳී සිටී.
එසේ තිබියදී, සාමාන්‍ය ජනතාවගේත් ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය දිනාගත් අප රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ හදවත වැනි මහජන බැංකුවට විදේශිකයින් මේ කළ නිගරුව පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ කනස්සල්ලක් නොවේ ද?