by Staff Writer . 29-10-2021 | 10:46 PM
COLOMBO (NEWS1ST): නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග අද මහජන මන්ත්‍රණ සභාව ලෙස එක්වුණේ, එල්.එන්.ජී ගනුදෙනුවට එරෙහිවයි.
මහජන සභාවේ මන්ත්‍රණ සභාව අද පිටකෝට්ටේදී පැවත්විය.
රැස්වීමට සහභාගිවී සිටි පිරිස අතර පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ද වූහ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, ඒ.එල්.එම්. අතාවුල්ලා, අසංග නවරත්න, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන මහත්වරු සමග පූජ්‍ය අතුරලියේ රතන හිමි මූලාසන මණ්ඩල නියෝජනය කළහ.
මේ අතර මහජන මන්ත්‍රණ සභාව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකවරු ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට සහභාගී වූහ.
පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ අද පැවැත්වෙන රැස්වීම පිළිබඳව එහිදී කිසිදු අදහසක් පළ නොවූ බවයි.
මම දන්න තරමින් නම් හවුල්කාර පක්ෂ 11ක් අපට නෑ.11ක් පාර්ලිමේන්තුවේ නෑ. එහෙම කිසිම කෙනෙක් රැලියක් තියෙන බවක් ගැන ප්‍රකාශ කළේ නෑ. එහෙම නිර්භිතව එහෙම ප්‍රකාශයක් කරන්න කවුරුත් ඉදිරිපත් වුන්නේ නෑ
ඊයේ රැස්වීමේදී ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගම සමග ඇතිකර ගන්නා එකඟතා පිළිබඳව මුදල් ඇමතිවරයා පැහැදිලි කළ බවද පක්ෂ ලේකම්වරයා පැවසී ය.
''මේ සාකච්ඡාවේදි අන්තිමට පැමිණ හිටපු හැමදෙනෙක්ටම වගේ තේරුණා. මේ LNG බලාගාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නෑ. ඉතාම පාරදෘශ්‍ය ආකාරයට ඒ වගේම රටට වැඩදායි ආකාරයට සිදු කරන ව්‍යාපෘතියක්. එතුමා පැහැදිලිව කිව්වේ මෙම ගිවිසුම් දැනට සම්පුර්ණයෙන්ම අවසන් නිගමනයකට ඇවිල්ලා නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හදාරලා අවශ්‍ය දේ කරන්න නිතිපතිවරයා වෙත යොමුකරලා තියෙනවා. සියලුම පක්ෂ නායකයින්ට තමුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණය තමයි පැහැදිලිව කිව්වේ.''