අපේ බැංකුවක් චීන අසාදු ලේඛනයේ...

අපේ බැංකුවක් චීන අසාදු ලේඛනයේ... බැක්ටිරීයා පොහොර එවූ චීන සමාගමට මොකද වෙන්නේ ?

by Staff Writer . 29-10-2021 | 9:02 PM

COLOMBO (NEWS1ST):  දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ඔවුන් සඳහන් කළේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළඳ කාර්යාලය මෙම පියවර ගෙන ඇති බවයි. මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර ගණුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායකයින්ට දැනුම් දෙන බව චීන තානාපති කාර්යාලය පවසයි. පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කළේ ය. ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි. කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල දෙකක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට තීරණය කර තිබේ. ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස මේ වනවිට අතුරු නියෝගයක් ද නිකුත් කර තිබේ. මේ අතර මහජන බැංකුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ ණයවර ලිපියට අදාළව ගෙවීම් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාළ වෙළඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණීජ මාහාධිකරණය නිකුත් කළ වාරණ නියෝගයකට අනුව බවයි. ඒ පිළිබඳව දැනටමත් චීන තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට මහාධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීම අදාළ ගෙවීම් ප්‍රමාදයට හේතුව ලෙස මහජන බැංකුව පෙන්වාදී තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ දැනට ක්‍රියාක්මක වන නීතිමය බාධක ඉවත් කළ පසු සාමාන්‍ය වෙළඳ පරිචයන් තුළ අදාළ ණයවර ලිපි සඳහා ගෙවීම් කඩිනම් කරන බවයි. චීන කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කළේ, මෙරට ජාතික ශාක නිරෝධායන සේවයයි. නියමිත තත්ත්වයට අනුකූල නොවන පොහොර සැපයීම නිසා චීන සමාගම දැන් අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැද් ද? මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, මහජන බැංකුව එලෙස අසාදුලේඛනගත කළේ ඇයි ද යන්න තමන් නොදන්නා බවයි. තව ද ගිවිසුමට අනුව සමාගම් තහනම් කිරීමේ හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසී ය.

''හැබැයි මේ මම දැන්නේ නෑ. අයි කියලා මහජන බැංකුව අසාදුලේකගත කළේ, මොකද මහජන බැංකුව මුදල් ගෙවීමක් නතර කරලා නෑ. මහජන බැංකුවට අධිකරණ නියෝගයක් ලැබිලා තියෙන්නේ. මහජන බැංකුව බැඳිලා ඉන්නවා. අධිකරණ නියෝගය ක්‍රියාත්ම කරන්න. ලංකා පොහොර සමාගම තමයි අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් අරන් තියෙන්නෙ. මේ ගිවිසුමට ආදළව අපිට සමාගම් තහනම් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් මේ ගිවිසුමට අනුව තියෙන එකඟතාව තමයි ප්‍රමිතියට පොහෙර ඇවිල්ලා නැත්තම් නැවත ප්‍රමිතියට පොහොර ගේන එක''

මේ අතර චීනයේ චින්දාඕ වරායෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගෙන පැමිණි හිපෝ ස්ප්‍රිට් නැව මේ වනවිට වෙළෙඳ නැව් ගමන් පිළිඹිබු කරන ජාල තුළ දක්නට නොමැත. දැන් මේ නැව ඇත්තේ කොහෙද? එය අවසන් වරට පසුගිය 24 වනදා හම්බන්තොට මුහුදේ දිසුවූ අතර ඒ වනවිට එහි නම සෙයියෝ එක්ස්ප්ලෝරර් ලෙස වෙනස්කර තිබිණ. නම වෙනස් කළ නැවේ අඩංගු පොහොර තොගය දෙපාර්ශ්වය එකඟවන තුන්වන පාර්ශ්වයකට ලබාදී පරීක්ෂා කළ යුතු බවට චීන සමාගම පසුගිය දා යෝජනා කළේ ය. කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ මෙම නැවේ පොහොර තොගය පරීක්ෂා කිරීමට එකඟ නොවන බවයි. අලුතින් චීනයෙන් පොහොර තොග ගෙන්විය යුතු අතර එම සාම්පල පරීක්ෂා කිරීමට එකඟ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කළේ ය. පොහොර සාම්පල පරීක්ෂා කිරීම පිළිබඳව ජාතික ශාක නිරෝධායන සේවය අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
''අයදුම්පත්‍රයක් ලැබුණා. ඒ අනුව අපි ආනයනික බලපත්‍රයක් නිකුත් කළා. ඒ යටතේ සාම්පල මෙරටට රැගෙන ආවා. ඒ සාම්පල රැගෙන ආවම ඒක පරීක්ෂාවට ලක් කිරීමේ නෛතික වගකීම තියෙන්නේ අපිට. පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කළහම හඳුනගත්ත අහිතකර බැක්ටීරියා වර්ග තියෙනවා. වගාවට කෘෂිකර්මාන්තයට අහිතකර. ඒවා රට තුළට ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.ඒ බව අපි දන්වලා තියෙනවා''
මේ අතර තුන්වන පාර්ශ්වයකට සාම්පල යොමුකර පරීක්ෂා කිරීමට ඇති සූදානම පිළිබඳව මෙරට ජාතික ශාක නිරෝධායන සේවය දැක්වූයේ මෙවන් අදහසකි. ප්‍රශ්නය:- කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා, ප්‍රමිතියට සකස් කරලා අලුතින් එවන පොහොර දෙපාර්ශ්වයම පිළිගන්නා තුන්වැනි පාර්ශ්වයකට යොමුකරනවා පරීක්ෂණ සඳහා කියලා. පිළිතුර (ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී වික්‍රමආරච්චි):- නමුත් ශ්‍රී ලංකාවේ ශාක නීති-රීති රෙගුලාසි අනුව තුන්වැනි පාර්ශ්වයකට අපිට යන්න බැහැ මොකද අපේ නීති රීතිවලින් ප්‍රතිපාදනයක් එහෙම දීලා නැහැ. ප්‍රශ්නය:- ඒ කියන්නේ කෘෂිකර්ම මැතිතුමා කියපු දේ ප්‍රායෝගිකව මේ රටේ කරන්න බැරිද? පිළිතුර (ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී වික්‍රමආරච්චි):- ඇත්තෙන්ම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ අපිට.පරීක්ෂණ කරන්න පුළුවන්.ඒ මත අපිට නිදහස් කරන්න අවසරයක් නැහැ. ප්‍රශ්නය:- එහි ප්‍රතිඵල හොඳ වුණත් ඔබතුමාගේ ආයතනයෙන් ඉදිරිපත් කරන ප්‍රතිඵලය හොඳ වෙන්න ඕනේ මේ ටික ගොවියගේ අතට යන්න ඒකද ඔබතුමා කියන්නේ? පිළිතුර (ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී වික්‍රමආරච්චි):- හරියටම හරි ඒක තමයි. තුන්වෙනි පාර්ශවයකින් හොඳ වුණු දෙයක් ජාතික ශාක නිරෝධායන ආයතනයෙන් විසින් අහිතකරයි කියලා හඳුනාගත්තොත් අපිට ඒක කිසිම විදිහකින් රට ඇතුළට ගන්න බැහැ.