''අපි අතින් යම් යම් ප්‍රමාදයන් ඇති වෙන්න ඇති''

පාස්කු ප්‍රහාරයේ වින්දිත පවුල්වලට අගමැතිගෙන් නිවාස..

by Staff Writer . 28-10-2021 | 11:38 PM

COLOMBO (NEWS1ST):  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 30 කට නිවාස ලබා දීමේ වැඩසටනක් අද (28) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්විණ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 121 න් පවුල් 30 කට නිවාස ලබාදීම මෙහිදී සිදු කෙරිණ. මෙහිදී අදහස් දක්වමින් කොළඹ සහායක රදගුරු අතිඋතුම් ජේ. ඩී. ඇන්තනී හිමිපාණන් පැවසුවේ, ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයන්නේ පළිගැනීමට හෝ තවත් කෙනෙකු වේදනාවට පත් කිරීමට නොවන බවයි.
''ඇත්තමට අපි සත්‍ය සොයන්නේ පළිගන්නටවත්, එහෙමත් නැත්තන් තව කෙනෙකුව වේදනාවට පත් කරන්න නෙවෙයි. සත්‍ය දැන ගැනීමෙන් පමණයි අපිට සාමය ඇති වෙන්නේ. මේ පිටි පස්සේ හිටියේ කවුද? මේ සඳහා දායක වුණේ කවුද? මේ සඳහා මුදල් වියදම් කලේ කවුද? ඒ වගේම තමන්ගේ වගකීම් ඉටු නොකළේ කවුද? මේ සියලු දෙනාම සොයා දෙන්න කියලා. මේ වේදනාවට පත්වෙච්ච අයට සැනසීමක් ලැබෙනවා අපිට ඒ දැන ගැනීම ලැබුණොතින්. අපි මේ සත්‍ය සොයා යන ගමනේ දී ඒ සමාව දෙන්නට සුදානම් නමුත් පළමුව අපි දැන් ගන්නට අවශ්‍යයි. කවුද මෙයට දායකවුණේ, කියලා. ඒ භාරදුර කාර්ය සඳහා රජයේ මැදහත්කම අපි විශේෂයෙන් බලාපොරොත්තුවෙනවා''
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, යම් ප්‍රමාදයන් ඇති වුවද අනිවාර්යෙන්ම පාස්තු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සිය කැපවීම කිරිමට සූදානම් බවයි. සෑම දෙනාටම නිදහසේ ජීවත්වීමට, ගමන් බිමන් යාමට, ආගම ඇහීම සඳහා ආගමික ස්ථානයට යාමට අයිතිය තිබිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
''අපි අතින් යම් යම් ප්‍රමාදයන් ඇති වෙන්න ඇති. නමුත් අනිවාර්යෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම ඔවුන් වෙනුවෙන් කරන්න අපි සුදානම්. නිදහසේ ජිවත් වෙන්නට. ගමන් බිමන් යන්නට, තමන්ගේ ආගම ඇදහීම සඳහා පල්ලිය පන්සලට යන්නට කොවිලට යන්නට අයිතිය තිබිය යුතුයි. එය රැකදීම ඒ වගකීම ආගම ඇදහිමේ නිදහස භුක්ති විඳින්න නම් ඔවුන් ඉතා ආරක්ෂාවක් ඇතුව තමන්ගෙ ආරක්ෂාව තමන්ගේ ආගම ඇදහීමට ඉඩදිය යුතුව තියනවා. එහෙම නම් ඒ සඳහා ගතයුතු සියලු පියවරයන් ගැනීම රජයක වගකීමක් අපේ වගකීමක් ලෙස සලකනවා''