විදුලි වෘත්තීය සමිති රට අඳුරු කරයිද?

''3 වැනිදායින් පස්සෙ නැළවිලි ගී නෑ. රටම අඳුරේ තියන වර්ජනයකට යනවා'' - විදුලි වෘත්තිය සමිති

by Staff Writer . 27-10-2021 | 10:29 PM

COLOMBO (NEWS1ST):  කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම ඉල්ලා අස්කර නොගතහොත් නොවැම්බර් 03 වැනිදායින් පසු රටම අදුරේ තබන බවට ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද අනතුරු ඇඟවීමක් සිදු කළේ ය.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ, වර්ජන ක්‍රියාමාර්ගය වන අවසන් පියවරට දැන් පැමිණ ඇති බවයි. එම සන්ධානය ආණ්ඩුවට අභියෝග කර කියා සිටියේ, ලබන 3 වැනිදායින් පස්සේ මුළු රටම අඳුරේ තබන වැඩ වර්ජනයකට යොමු වන බවයි.
''දැන් අපිට ඇවිත් තියෙන්නේ අවසන් පියවර. ඒ තමයි වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න. සිකුරාදා කාදිනල් උන්වහන්සේ හම්බවුණා. උන්වහන්සේට අපිට දැනුවත් කරන්න දෙයක් තිබුණේ නෑ. උන්වහන්සේ අපිව දැනුවත් කළා. බලශක්ති ක්ෂේත්‍රය ඒවාගේම වරාය අනිකුත් ජාතික සම්පත් සම්බන්ධයෙන් අපිට තිබුණේ. සාවදානව අහගෙන ඉන්න. අපිට ලැජ්ජා හිතුණා ඇයි අපි තාමත් ඉවසන්නේ කියලා. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ නියෝජනය කරන ජනයා ඒ ආගමේ සියලු අය සියලු අය මේ සටන්වලට එකතු කරනවා කියලා. ඉතින් අපි තනිවෙලා නෑ. 29 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ මේකට විරෝධය අප්‍රසාදය පළ කරලා මේ හොර ගිවිසුම වහාම ඉල්ලා අස්කරගනින් කියලා ආණ්ඩුවට බල කරන අත්සනක් තියලා ජනාධිපතිට 29 වෙනිදා සටහන් කරනවා. නොවැම්බර් 03 බලාගාරවලින් දොට්ට බැහැපු සේවකයෝ අත්‍යාවශයම සේවාවලට පමණක් තියලා එනවා. විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කරගන්න බැරුව 3 වැනිදාටත් අමාරු වෙයි. 3 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය ඉස්සරහා රොද බදිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු රෙජිමේන්තු. ආණ්ඩුවට අපි අභියෝග කරලා කියනවා 3 වැනිදායින් පස්සේ තවත් නැළවිලි ගීත මාධ්‍ය හරහා කරන්න අපි ලෑස්ති නෑ. 3 වැනිදායින් පස්සේ මුළු රටම අඳුරේ තබන වැඩ වර්ජනයකට අපි යනවා''
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශ කළේ, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට කෙරවලිපිටිය බලාගාරයේ කොටස් ලබාදීම වෙනුවෙන් සිදුකරන අයෝජනයට අදාළ පළමු වාරිකය මේ වසරේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල දී ලැබීමට නියමිත බවයි. මෙම ගනුදෙනුවෙන් අපේක්ෂිත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මහ බැංකුව ප්‍රකාශයට පත්කළ සය මාසික පෙරදැක්මෙන් ඉදිරි කාල සීමාවේ මෙරටට ලැබෙන විදේශ විනිමය පිළිබඳව අනාවරණය කර තිබේ. ඒ යටතේ චාමර්ස් භූමිය හා වන් ගොල්ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපල සම්බන්ධ එකඟතාවන්ට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලැබීමට නියමිතයි. මීට අමතරව විදේශ විනිමය ලබාගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරෙදිග මහ බැංකු කිහිපයක් සමග ද සාකච්ජා කරමින් සිටින බව මහබැංකුව පවසයි.