සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශය ගැන විමර්ශන

සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශය ගැන රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාගෙන් CIDයට පැමිණිල්ලක්

by Staff writer 27-10-2021 | 9:20 PM

COLOMBO (NEWS1ST): ගරු සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් Zoom තාක්ෂණයෙන් පැවති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා කළ පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනි දිනයි. එම සාකච්ඡාවේදී තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු අනාවරණය කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කරුණු වාර්තා කරමින් කියා සිටියේ පැමිණිලිකරු ඇතුළු අවශ්‍ය සියලු පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කර ඒ සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා බවය.