COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය නුසුදුසුයි බව කී පොහොර බලහත්කාරෙන් රටට ලබා දීමේ උත්සාහයක් ඇති බව විපක්ෂ නායකවරයා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මෙය බහුජාතික සමාගම් ක්‍රියාත්මක කරන අධිරාජ්‍යවාදයක් ලෙස තමන් දකින බවයි.
තව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, චීන පොහොර ගනුදෙනුව රටේ ස්වෛරීභාවයට කළ බලපෑමක් බවයි.
''ශාක නිරෝධායන ඒකක නුසුදුසුයි කියපු පොහොර වර්ග අද බලහත්කාරෙන් අපේ රටට ලබාදෙන ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙනවා .ඒක මම දකින්නේ හරියට බහුජාතික සමාගම් ක්‍රියාත්මක කරන අධිරාජ්‍යවාදය. ඒ විතරක් නෙවෙයි විවිධ රටවලුත් අපිට බලපෑම් කරනවා. මේ රටේ නිරෝධායන ඒකකය කියන කොට මේ ගෙන්වන පොහොර නුසුදුසුයි කියලා මේවා ගුණාත්මකභාවයෙන් අඩුයි කියලා මේවායේ ක්ෂුද්‍ර ජිවින් බැක්ටිරියා තියෙනවා කියලා මේවායේ අර්විනියා බැසිලස් අඩංගුයි කියලා කොතෙකුත් අවස්ථාවලදි කියද්දි බලහත්කාරෙන් නැව් එනවා. නැව් එනවා විතරක් නෙවෙයි නැව්වල නමුත් මාරු කරනවා. නමුත් නැව්වල නම් මාරු කළාට අපි හැමෝම දන්නවා ඒවායේ IMO නොම්මරය වෙනස් වෙලා නෑ. අපේ රට ඇතුළට එන්න හදනවා අපේ වෙරළ තිරයට එන්න හදනවා ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් කරගෙන. අපිට අහන්න තියෙනවා ප්‍රශ්නයක් .විදේශිය සමාගම් මේ වගේ නැටිල්ලක් නටනවා නම් කාගේ බලය අතට අරගෙන ද? මේක කරන්නේ ?අපේ රටේ ස්වෛරිත්වයක් තිබෙනවා ද? කෝ මේ දේශාභිමානය දේශප්‍රේමිත්වය දේශානුරාගය ජාතිකත්වය මේවා ඔක්කොම දැන් අමතක වෙලා. කොහොමද බහුජාතික සමාගමක් මේ විදියට ස්වෛරි රටකට බලපෑම් කරන්නේ? එතකොට නිරෝධායන ඒකකයේ මේ ශාක නිරෝධායන ඒකකයේ නිලධාරින් ඒ අය සුදුසු නැද්ද? ඒ අයගේ නිගමන වැරදිද? ඇයි අපේ රාජ්‍ය සේවකයෝ මේ වගේ බාල්දු කරන්නේ? අපේ ගරුත්වය අපි ලබාදෙන්නට ඕන''
සිය මව වන හේමා ප්‍රේමදාස මහත්මියගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහන යටතේ කාසල්වීදිය කාන්තා රෝහලට අති නවීන ස්කෑනර් යන්ත්‍රයක් පිරිනමමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ය.