චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නෙ කවු ද?

චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?

by Staff Writer . 27-10-2021 | 8:53 PM

COLOMBO (NEWS1ST):  චීන සමාගම මේ වනවිට රැගෙන ඒමට උත්සාහ කරන නැවේ පොහොර සාම්පල කිසිදු හේතුවක් මත නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ ය.

නමුත් ඔහු කියා සිටියේ මෙරට පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස්කර අලුතෙන් එවන පොහොර සාම්පල දෙපාර්ශ්වය පිළිගන්නා තුන්වන පාර්ශ්වයකට යොමුකර පරීක්ෂා කරන බවයි. චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සාම්පල දෙකක් අවස්ථා දෙකකදී පරීක්ෂා කළ මෙරට ජාතික ශාක නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කළේ ය. නමුත් සැප්තැම්බර් 23 වනදා චීනයේ චින්දාඕ වරායෙන් හිපෝ ස්ප්‍රිට් නමැති නැව පොහොර මෙට්‍රික් 20,000 ක් රැගෙන කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළේ ය. අහිතකර බැක්ටීරියා හේතුවෙන් මේ පොහොර මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ අතර නැව වරායට ඇතුල් කර නොගන්නා ලෙස ද නියෝග කෙරිණ. නමුත් මේවන විට හිපෝ ස්ප්‍රිට් නැව එහි නම සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙස වෙනස්කර ශ්‍රී ලංකාවේ හම්බන්තොට ආසන්න කුඩා රාවන හා මහාරාවන ප්‍රදීපාගාර සමීපයේ යාත්‍රා කරමින් තිබේ. මේ බව ජාත්‍යන්තර නාවුක ගමනාගමන දත්ත පද්ධති විමසා බැලීමේදී ද තහවුරු වේ. නැවේ නම වෙනස් කළ ද එහි ජාත්‍යන්තර හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි නිසා එය තවදුරටත් හඳුනාගත හැකියි.

දැන් මේ නැව භාරගන්නවා ද?

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටින්නේ, නැව රට තුළට අතුළු කර නොගන්නා බව ත් එහි සාම්පල පරීක්ෂා නොකරන බවත් ය.
''මට කියන්න තියෙන්නේ අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකෙන් සාම්පල් ටෙස්ට් කරන්නෙත් නෑ මේ ෂිප්මන්ට් එකට පෙමන්ට් කරන්නෙත් නෑ.මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකට අනුව නැවත ආපහු ගිහිල්ලා හරි පොහොර ටික හදලා අපේ ස්පෙෂිපිකෙෂන් එකට ආවොත් අපි පොහොර ටික ගන්නවා. මුදල් ගෙවනවා කතාව එතනින් අවසානයි''
එහෙත් චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් සමාගම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ තුන්වන පාර්ශ්වයක් මගින් නැවත සාම්පල පරීක්ෂා කළ යුතු බවයි. එහිදී අහිතකර බැක්ටීරියා නැතැයි, තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව නෞකාවේ ඇති පොහොර ශ්‍රී ලංකාව භාරගත යුතු බව ද සමාගම අවධාරණය කර තිබේ. මේ අතර චීන සමාගම පවසන්නේ මේ වනවිට මෙම පොහොර තොගයට අදාළව ණයවර ලිපි විවෘත කර ඇති මහජන බැංකුව අදාළ ගෙවීම් පැහැර හැරිය හොත් අසාදු ලේඛනගත කරන බවයි. කෙසේවෙතත් අදාළ ණයවර ලිපි සඳහා ගෙවීම් සිදුකිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය මේ වනවිට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. මේ අතරවාරයේ පසුගිය දා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා එහි ලේකම්වරයා හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කැඳවා මේ ගැන කරුණු විමසා තිබිණ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගී වූ අද පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අදහස් පළ කළ අතර එහිදී මාධ්‍යවේදීහු ද අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළහ.
''මේ ආපු ෂිප්මන්ට් එක US මිලියන 8 ක ෂිප්මන්ට් එකක්. මෙට්‍රික් ටොන් 20,000 හා එතකොට මේකෙන් 75% යි තමයි තමයි එල් සී එකට අනුව ගෙවෙන්නේ , US මිලියන 5 ක ඩිපොසිට් එකක් මෙහේ තියලා තියෙනවා. එතකොට මේ US මිලියන එකයි දශම ගාණක ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ උසාවි ගියොත් මේ 1.7 නවත්තා ගන්න. අපිට තියෙන්නේ ඒ ඔක්කොටම වැඩිය මේ ඉන්න බැක්ටිරියා එක අපේ රටට ගෙන්න බෑ'' 
මාධ්‍යවේදී ප්‍රශ්නය :- නමුත් මෙතන දැන් ආබිට්‍රේෂන් එකක් ගියොත් ඔය කියන ගාණට වඩා වැඩි ගාණක් ගෙවන්න පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- ඉතින් ඒ ගොල්ලෝ ආබිට්‍රේෂන් එකට ගියාට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ ස්පෙෂිපිකෙෂන් එක ඇතුළෙ මේ පොහොර නැත්නම්. මොකක්ද අපිට තියෙන ප්‍රශ්නය. මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඇමතිතුමා ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා දැන් ඔබතුමා මෙතෙන්දි කටයුතු කරලා තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රීක පිළිවෙතින් බැහැරව නේද? සමාන්‍යයෙන් තනාපති වරයෙක් කැඳවන්නේ නෑ නේ අමාත්‍යවරයෙක්ව තමන්ගේ තනාපති කාර්යාලයට පිළිතුර (රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ) :- ඒක මේ කැඳවීමක් කළේ නෑ. අපිට ඕනේ වෙලා තිබුනේ සුහදව මේ ප්‍රශ්නේ විසඳාගන්න විතරයි. මේට තිබුණේ, මේක පැහැදිලි කිරීම විතරයි. මොකද මේක පැහැදිලි කරන්නේ නැතුව චීන රජය කියන්නේ අපිට අමතක කරන්න බෑ අපිට රටක් හැටියට මේ පොහොර විතරක් නෙවෙයි මේ හැමදේටම ඉන්න රටක් එන්නත උනත් අපිට ලබාදෙන්න ඒ අය ඉතා උනන්දු වුණා. ඒ හින්දා අපේ වගකීමක් තියෙනවා. අපේ පැත්ත පැහැදිලි කරලා දෙන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය :- දැන් ඒ ලෙටර් එකෙම තියෙනවා. මහජන බැංකුව බැක්ලිස්ට් කරනවා කියලා. තර්ජනාත්මක පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- කවු ද ඒක එවලා තියෙන්නේ? මාධ්‍යවේදී ප්‍රශ්නය:- ඒ සමාගම පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- සමාගමට පුළුවන්ද මහජන බැංකුව බැක්ලිට් කරන්න. ඒ ගොල්ලන්ට අපිට තර්ජනය කරන්න පුළුවන් මෙතන වෙලා තියෙන්නේ මේක තෙරුම් ගන්න ඒ ගොල්ලෝ ප්‍රධාන සමාගමක් ඒ ගොල්ලන්ට ක්‍රෙඩිබිලිටි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මෙරට ජාතික ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා ඇතැයි දෙවරක් තහවුරු කරද්දීත් චීන පොහොර නැවතත් තුන්වන පාර්ශ්වයකින් පරීක්ෂා කිරීමට එකඟ වුණේ ඇයි? අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙලසෙ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.
''ඒ දැන් ගෙනාපු නැවෙන් තියෙන දෙවල් තුන්වෙනි පාර්ෂවයකට දෙන්නේ නෑ.  අපි කිව්වා දැන් එකෙන් ගන්න බෑනේ අපිට ඒක රිජෙක්ට් වෙලා ඉවරයි. අපි කිව්වා ආයේ හදන්න මං මේක සරලව කියන්නම් අපි මේක ටෙලර් ෂොප් එකකට ගිහිල්ලා මගේ මෙෂමන්ට් එක අරන් මෙතුමාගේ සයිස් එකට ෂර්ට් එකක් මැහුවොත් මං මේක ගන්නේ නෑ. නේ මට අඳින්න බෑ. එතකොට මං කරන්නේ මොකක්ද ආපහු මේක දියලා තියෙනවා. මට ඔනේ විදිහට මහන්න කියලා ඒ වැඩේ තමයි අපි කිව්වේ''
මාධ්‍යවේදී ප්‍රශ්නය : - මේ එවන නිවේදනයෙන් ඒ ගොල්ලෝ ඉතාම බරපතළ විදිහට අපේ අපේ ශාක පැළෑටී නිරෝධායන ක්‍රමවේද විවේචනය කරනවා. මේකට යුරෝපියන් ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ ලංකාවේ ආයතනයක් පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- ඉතින් ඒ සමාගමට ඕනේ ලියුමක් ලියන්න කියන්න අපිට ප්‍රශ්නයක් නෑ මාධ්‍යවේදී ප්‍රශ්නය :- දැන් ඔබතුමාලා මේ පැළෑටි නිරෝධායන එකට උතත්ර දෙන්නේ කවුද? පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- නෑ අපි උත්තර දෙන්න බැඳිලා නෑ. අපේ කොරන්ටයින් එක අපි උතත්ර දෙන්නෙත් නෑ.  අපි උතත්ර දෙන්න බැඳිලත් නෑ. මේ අතර තම ආයතනය මගින් නිසි විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබියදී වෙනත් ජාත්‍යන්තර ආයතනයකින් චීන කාබනික පොහොර පරීක්ෂාවට ලක්කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වන්නක් බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුවන බවත් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය පවසයි. ඔවුන් පෙන්වාදෙන්නේ එය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ද සෘජු බලපෑමක් එල්ලකරනු ඇති බවයි. ජාතික ශාක නිරෝධායන සේවයේ තීරණය පවා අභියෝගය ලක්කරමින් චීන පොහොර ගෙන්වීමේ උනන්දුවට හේතුව කුමක් ද?

මේ ගනුදෙනු පිටුපස ඉන්නේ කවු ද?

සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සැප්තැම්බර් 19 වනදා වාර්තා කලේ චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය ඒජන්තතවරයා ලෙස චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම නමින් ආයතනයක් කටයුතු කරන බවයි. චීන සමාගම ඔක්තෝබර් 22 වනදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියකින් මේ දේශීය ඒජන්ත ආයතතනයේ කටයුතු කරන පුද්ගලයින් කවුරුන්දැයි තහවුරු වේ. එහි සඳහන් වන ආකාරයට චීන සමාගමේ දේශීය ඒජන්තයා වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ලෝලිත අබේසිංහ නමැත්තායි. දේශීය ඒජන්ත සමාගමේ සභාපතිවරයාගේ ඥාති සබඳතා පිළිබඳව සමීපව විමසා බැලීමේදී මේ ගනුදෙනුවල ඇති දේශපාලන හා අනෙකුත් බලපෑම් පිළිඹිබු වේ.