රන්ජන් වැලිකඩට මාරු කරන්න..., විපක්ෂ නායකවරයා ඉල්ලයි

by Staff Writer . 26-10-2021 | 11:16 PM

COLOMBO (NEWS1ST):  මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යළිත් අවධාරණය කළේ ය.

විපක්ෂ නායකවරයා අද (26) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයට පැමිණ අධිකරණයට අපහාස කළා යැයි චෝදනා මත සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හමුවිය. රන්ජන් රාමනායක මහතා හමුවී පැමිණීනේ අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, රන්ජන් රාමනායක මහතා මේ වන විට ත් කොදු නාරටිය සහ දණහිසේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
''මේ වන විට එතුමා ඉන්නේ සිරගෙදර රෝහලේ විශේෂයෙන්ම කොදු නාරටිය සහ දණහිසේ ආබාධීත තත්ත්වයක් නිසා.මෙිතුමාට මීට වාඩා විධිමත් ප්‍රතිකාරයක් කරන්නට පුළුවන් එතුමා කොළඹ ප්‍රදේශයේ වැලිකඩ බන්ධනාගාරය කරා එතුමාව මාරු කරනවා නම් මම හිතනවා ඒක සිදුවිය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අධීකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සෞඛ්‍ය හේතුන් මත එතුමාට මේ මාරුවීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සිටින කාල සීමාව තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා උපාධියක් ලබා ගන්න. එතුමාව වැළිකඩ බන්ධනාගාරයට මාරුකර යැව්වොත් එතුමාට පුළුවන් වෙනවා ඒ කටයුතු කර ගන්න. රාජ්‍ය මුදල් අවභාවිතා කරලා නෑ ,මූල්‍ය වංචා කරලා නෑ.එතුමාගේ පෞද්ගලික සම්පත් පවා පොදු ජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. නැවතත් බලාපොරෝත්තු වෙනවා ගරු ජනාධීපතිතුමා මනුෂ්‍යත්වයේ නාමයෙන්, රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්නට කටයුතු කරයි කියලා''