කාදිනල් හිමිපාණන්ගෙන් යළිත්  අනතුරු ඇඟවීමක්

''මුතුරාජවෙල වැඩපිළිවළ පිළිගන්න බැහැ...අපිට සිද්ද වෙනවා ජනතාව පාරට බස්සන්න, ජනාධිපතිතුමාටත් රජයටත් විරුද්ධව'' - කාදිනල් හිමි

by Staff Writer . 26-10-2021 | 10:37 PM

COLOMBO (NEWS1ST):  මුතුරාජවෙල සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත වෙනස් නොකරන්නේ නම් ජනතාව සමග පෙළ ගැසෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

''අපි ආණ්ඩුවක් ඡන්දේ දීලා තොරගත්තා නේ. දැන් ඒ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ තමයි ඉන්න ඕන. දැන් මුතුරාජවෙල සම්බන්ධව දැන් අලුතෙන්ම කරගෙන යන වැඩපිළිවළ අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනතා විරෝධි තීරණයක්. ඒ නිසා අපිට සිද්ද වෙනවා අනිවාර්යෙන් ජනතාව පාරට බස්සන්න ජනාධිපතිතුමාටත් රජයටත් විරුද්ධව. ඒක අපි නොකර ඉන්නෙත් නෑ. මේ විදියට හිතුවක්කාර විදියට රට පාලනය කරන්න අපි මේ ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත්, අමාත්‍ය මණ්ඩලයේ එක්කෙනෙකුටවත් අපි බලය දීලා නෑ. මේ වගේ දේවල් කරනවා නම් ජනතාවගේ මතය විමසන්න ඕන කලින්. විමසලා කැමැත්ත නොකමැත්ත අර ගන්න ඕන.එකයි ප්‍රජාතන්ත්‍රවාදය''
උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (26) එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමෙන් අපවිත්‍ර වූ පමුණුගම, සරක්කුව වෙරළ තීරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදී ය. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් හා පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද කාදිනල් හිමිපාණන් පැමිණෙන අවස්ථාවේ සරක්කුව වෙරළට රැස්ව සිටියහ. උන්වහන්සේගේ පැමිණීම සිදුවන විටත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය, සාමාන්‍යාධිකාරීවරයා සහ නිලධාරීහු පැමිණ වෙරළ පිරිසිදු කරමින් සිටියහ. සරක්කුව වෙරළට පැමිණි කාදිනල් හිමිපාණන් කියා සිටියේ,වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කීරිමේ වැඩපිළිවළකට යා යුතු බවත් එසේ නොමැති නම්, නැව ගිනි ගැනීම ආරම්භ වූ අවස්ථාවේ ඊට නිසි පිළියම් යෙදවීම හෝ කටයුතු නොකළ බලධාරීන්ට දඬුවම් දිය යුතු බවයි.
''දැන් ඔය නැව් සමාගමයි, ඉන්ටර්නල් කොම්පැණි පුළුවන් තරම් උත්සහා කරන්නේ අඩුවෙන් ගෙවලා බේරෙන්න. අපි කරන්න ඕන එහෙම කරන්න ඒ ගොල්ලන්ට ඉඩ නොදී, අපේ වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කීරිමේ වැඩපිළිවලකට යන්න ඕන. එහෙම කළේ නැත්තන් ගිනි ගැනීම පටන්ගත්ත වෙලාවේ, මහ මුහුදට ඇදගෙන යන්න හෝ, වරායට ගෙනල්ලා ඒකට අවශ්‍යය පිළියම් යෙදවීම හෝ කටයුතු නොකළ අයට දඬුවම් දෙන්න ඕන. ඒ කටයුතු නොකළ අය අතර වරාය ඇමතිත් ඉන්නවා. මේක අපේ රට. නැව් සමාගම් කාරයෝ යන්න යයි. ඇයි මේ නැව දවස් ගණන් ගිනිගන්න ඉඩ තිබ්බේ. ඇයි එවෙලාවෙම නැව් එළියට ඇදගෙන යන සමාගම් සමග කතා කරලා. ඒකට පිළියම් යොදවන්නට කටයුතු නොකළේ. ඒවා ගැන විමර්ශනයක් කරන්න ඕන. ධීවර ජනතාවගෙ පැත්තෙන් එගොල්ලන්ට යම් ගෙවීමක් කරන්න ඕන කියලා කිව්වාම රාජ්‍ය ඇමතිතුමා මැදිහත් වෙලා නැව් සමාගමෙන් මුදල් ටිකක් අරගෙන ඒ ගොල්ලන්ට සති දෙකක පාඩුව ගෙව්වා කියලා තමයි අපිට කිව්වේ. දැන් සති දෙකක් නෙවේ කොච්චර කාලයක්ද ඒක සිද්ද වෙලා. එතකොට ඒ මිනිස්සුන්ට තාම රස්සා කරගන්න විදියක් නෑ. ඉන්ෂුරන්ස් සමාගම් තියන නිසා ඒ ගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්නේ නොගෙවා ඉන්නනේ. රජය බලපෑම් කරන්න ඕන මේක ගෙවන්න ඕන කියලා''
මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, වෙරළ තීරයට පමණක් නොව මුහුදු සත්ත්වයින්ට පවා බලපෑම් වූ බවයි. අනතුරුව කාදිනල් හිමිපාණෝ මාධ්‍යයට ද මෙලෙස අදහස් පළ කළහ.
''දැනට අපිට පේන හැටියට මේ රජය සවන් දෙන්න නෑ ජනතාවට.ජනතාව සමග නෙවෙයි ඉන්නේ. ධනවතුන්ගේ පැත්තෙ විදේශීය සමාගම්වල පැත්තේ. එහෙම තමයි හැම තීරණයක්ම ගන්නේ ඒ විදියට. එහෙම බෑ. අපිට කිව්වෙ එහෙම එකක් නෙවෙයි ඡන්දෙ කාලෙදි. ජනතාව සමග ඉන්නවයි කියන පොරොන්දුව දුන්නා කෝ ඒක ඉෂ්ට කරාද? ජනතාවට ආරක්ෂාවක් නෑ. පාස්කු ප්‍රහාරය ගැන කිසිඳු හරි ආකාර හොයා ගැනීමක් කරන්නේ නෑ. උඩින් පල්ලෙන් මොනවා හරි කරනවා. මුතුරාජවෙල සම්බන්ධවත් එහෙමයි. වැව් අමුණු ඒවා ආරක්ෂා කරන ඒවා මුකුත් කරන්නෙත් නෑ. දැන් මේ UDA එකට මේ පළාතම භාරදෙන ගැසට් එකක් ගහලා ජනාධිපතිතුමා පිස්සු නටනවා. මේ මිනිස්සු අවුරුදු 100, 200 හිටියා ඒවා UDA එකට පවරන්න බෑ. UDA එකේ ඉන්නේ කව්ද ඒ කොහේ ඉඳලා ආව කට්ටියක්ද? පිටසකවලකින් ආපු කට්ටියක්ද එහේ ඉන්නේ. UDA එකේ. ඒ නිලධාරීන්ට එයාර්කන්ඩිෂන් කාමරවල ඉන්න කොළඹ නිලධාරීන්ට පවරන්න පුළුවන් ද. මේ පැත්තේ මන්ත්‍රීතුමාගෙන් ඇහුව ද? මම මන්ත්‍රිතුමාට කෝල් කෙරුවාම එතුමා කියනවා. මම දන්නේ නැහැල්ලු, මට කිව්වේ නැහැල්ලු, ඉතිං මේ පළාතේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ මෝඩරාළ කෙනෙකුටනේ''
මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානයක්කාර පැවසුවේ, රජයේ බලාපොරොත්තුව මුතුරාජවෙල අභය භූමිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම බවයි.
'' මොකක්ද රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ ,මේ මුතුරාජවෙල අභය භූමිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම.අනවසර ලෙස ඉඩම් අත්පත් කර ගැනීම සිදු වෙනවා. කුණූ කසළ බැහැර කිරීම් සිදු වෙනවා.මේ සිදු වන දේවල් නතර කරන්න තමයි රජයක් හැටියට ගැසට් පත්‍රයක් නිකුත් කරලා මේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතුකරන්නේ.මේක ගැසට් නිවේදයක් මගින් සිදුකරන්නේ තෙත් බිම ආරක්ෂා කරන්න අවශ්‍ය කරන බලය පැවරීම තමයි''