පොපි මල් දින සැමරුමේ පළමු පොපි ජනපතිට

පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනපතිට පළඳවයි

by Staff Writer . 26-10-2021 | 6:34 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳවීම අද (26) සිදුවිය.

ඒ ජනාධිපති කාර්යාලයේදීයී. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපතිවරයාට පොපි මල පැළඳ වූ අතර ඒවා අලෙවියෙන් ලැබෙන අදායම විශ්‍රාමික හා අබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන්කර තිබේ. සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර ශ්‍රී ලංකාවේදී එම සැමරුම පවත්වන්නේ නොවැම්බර් මස 11 ට ආසන්න ඉරු දිනකයි. මේ අතර රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මොස්කව් නුවරදී එරට හමුදා ගෞරවාචාරය පුද කෙරිණ. යුද හමුදාපතිවරයා මෙම සංචාරයේ නිරතවන්නේ රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙනි. කාණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම්ලත් සම්මාන ආචාර පෙළපාළියක් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් මොස්කව් නුවරදී පිරිනැමිණ. ගෞරවාචාරවලින් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේ ය. යුද හමුදාපතිවරයා මෙම සංචාරයේදී එරට ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.