අත්හිටවූ චීන පොහොර යළි පරීක්ෂා කරවන්නැයි, ඉල්ලීමක්

ප්‍රතික්ෂේප කළ චීන පොහොර තුන්වන පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්න... චීනය ඉල්ලයි

by Staff Writer . 26-10-2021 | 11:19 AM

COLOMBO (NEWS1ST): හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ  චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කර තිබේ.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීම කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය. මේ අතර   චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, හාබර් මාස්ටර්වරයා සියලු පාර්ශවවලට නියෝග කර ඇති පසුබිමකදී  ය.

චීන පොහොර නැවට වරායට ඇතුළු වෙන්න දෙන්න එපා...

මේ අතර චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, පසුගිය 23 වනදා හාබර් මාස්ටර්වරයා සියලු අංශවලට නියෝග කළේ ය. ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඊයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවයි. අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ද ජාතික ශාක නිරෝධායන සේවය වරාය දැනුවත් කර තිබිණ. ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා එදින සඳහන් කළේ ය. මේ අතර අවස්ථා 2කදී තහවුරු වී තිබුණේ, පසුගියදා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවටයි. තව ද හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් ලංකා පොහොර සමාගම පසුගිය 23 වනදා වාරණ නියෝගයක් ද ලබා ගත්තේ ය.

චීන කාබනික පොහොර රැගෙන මෙරටට යාත්‍රා කරමින් සිටි හිපෝ ස්පිරිට් නෞකාවට මොකද වුණේ..?

පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගත් හිපෝ ස්පිරිට් නෞකාව චීනයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වුණේ සැප්තැම්බර් 22 දායි. නැවේ අඩංගු කාබනික පොහොරවල අහිතර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීමෙන් පසුව ශ්‍රී ලංකා රජය පොහොර ඇණවුම අත්හිටුවීමට තීරණය කළේ ය. අනතුරුව නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ නැව් ස්ථානගතවී ඇති ආකාරය ප්‍රදර්ශනය වන වෙසල් ට්‍රැකර් නාවුක දත්ත තොරතුරු පද්ධතියේ එය පිළිඹිබු වන්නේ මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටින බවයි. දින ගණනාවක සිට මෙම නෞකාව මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටින ආකාරය පිළිඹිබු වේ. නමුත් නාවුක දත්ත තොරතුරු පද්ධති තුළ හිපෝ ස්ප්‍රිට් නෞකාවේ මීළඟ ගමනාන්තය කොළඹ ලෙස දැක්වේ. මෙම නැව කොළඹ වරායට පැමිණෙන බවට දැනුම් දී ඇතිදැයි හාබර් මාස්ටවරයාගෙන් ඊයේ (25)  විමසීමක් කළ අතර ඔහු පැවසුවේ ඒ පිළිබඳ කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති අතර නැව පිළිබඳව අවධානයෙන් සිටින බවයි. https://www.youtube.com/watch?v=pvenBKmWixw