ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පිටවයයි

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පිටව යයි

by Staff Writer . 26-10-2021 | 9:55 PM

COLOMBO (NEWS1ST):  දිවයිනට පැමිණි ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අද (26) පස්වරුවේ මෙරටින් පිටව ගියේ ය.

ඔවුන් ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හමුවී සාකච්ඡා කර තිබේ. ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ද ඇතුළුව 10 දෙනෙක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් පෙරේදා මෙරටට පැමිණියහ. ගෞතම් අදානි මහතා සිය ට්විටර් ගිනුමේ සඳහන් කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බවයි. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව, අදානි සමූහය හවුල්කාර පදනමින් ක්‍රියා කළ හැකි අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳව ද සොයාබලමින් සිටින බවයි. ශ‍්‍රී ලංකාව සමග ඉන්දියාවේ ශක්තිමත් බැඳීම් ශතවර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික සබඳතාවලට පදනම්වී ඇති බව ද ඔහු පවසා තිබේ. අදානි මහතාගේ මෙරට සංචාරය පිළිබඳව අදහස් දක්විමින් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පැවසුවේ, ඔහු මෙරට සිදු කිරීමට හැකියාව ඇති ආයෝජන පිළිබඳව සොයා බැලීමක් සිදු කළ බවයි.
''ලෝකයේම අංක 15 ඉන්න සමාගම. ඔවුන් පෞද්ගලික සංචාරයක් ලංකාවට සිදුකළා. ඔවුන් ලංකාව තුළ බැලුවා. විශේෂයෙන්ම සුළං ශක්තිය පිළිබඳව. කොහොමද? බලශක්තිය ඒ තියෙන පොටෙන්ෂියල් එක බලන්න තමයි ලංකාවට ආවේ. ඒවාගේම ලංකාවේ කරන්න පුළුවන් ආයෝජන පිළිබඳව සොයා බැලීමක් කළේ. ආයෝජන මණ්ඩලය ඇතුළු ඒ සියලු නිලධාරීන් හමුවුණා. ඒවාගේම විසර්ජනීය බලශක්ති පිළිබඳව ඒ බලශකත්තිවල කරන්න පුළුවන් ආයෝජන පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය භූමියත් පරික්ෂා කිරීමේ කටයුතු සිදු කළා''
දෙදින පෞද්ගලික සංචාරය නිමා කරමින් ගෞතම් අදානි මහතා ප්‍රමුඛ ව්‍යාපාරික කණ්ඩායම අද පස්වරු 4.10 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනෙන් පිටව ගියේ ය.