COLOMBO (NEWS1ST): ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 අද ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය.
මෙම සාකච්ඡාව පැවැත් වුණේ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයි.
කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය.
අමාත්‍යවරයා පිටව යන අතරතුර කියා සිටියේ, කෙරවළපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් යටතට පත්වීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තීය සමිතිවල අදහස් දැනගැනීම එහිදී සිදුවූ බවයි.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සාකච්ඡා නොකළේ දැයි, මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා නොතිබූ බවයි.
මේ අතර රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නියෝජිතවරු අදහස් පළ කළහ.
නව සිහල උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, යමක හරි වැරැද්ද තීරණය කිරීමේදී වැරදි කරන පුද්ගලයා කවුරුන් ද යන්න අදාළ නොමැති බවයි.
''මෙතැන දී එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදී වෙන්නත්, අපි කරනකොට ඒක හරි වෙන්නත් බැහැ. යමක් හරි නම් හරි වැරදි නම් වැරදි කරන පුද්ගලයා අදාළම නෑ''
මෙහිදී මාධ්‍යවේදීන් ආමත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර අමාත්‍යවරයා මෙලෙස ඒවාට පිළිතුරු දුන්නේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඔබතුමාලා බලයට ගෙනාපු කණ්ඩායමට එරෙහිව තමයි ඔබතුමාලා මේ..
පිළිතුර (අමාත්‍ය උදය ගම්මන්පිල) :- අදාළ නැහැ නේ .අපේ අම්මා තාත්තා වැරැද්දක් කරත් වැරදි දෙයක් නම් වැරදි. අපේ කට්ටිය අපි හදපු ආණ්ඩුව එහෙම කියලා හැඟීම්බර වුණොත් මොන වැරැද්ද කරත් ඉවසන්න, අපි මේ දේවල් කරන්නේ ආණ්ඩුව රැකගන්න.ජනතාව දුරස්වීම නතර කර ගැනීමට
මාධ්‍යවේදී ප්‍රශ්නය :- 29 වැනිදා ජාතික සභාව ඔබතුමාලා රැස් වෙනවා ද?
පිළිතුර (අමාත්‍ය උදය ගම්මන්පිල) :-අනිවාර්යෙන් ඔව්. ලිහන්න තියෙන මල්ල ඔබා බලනු කුමට.
මාධ්‍යවේදී ප්‍රශ්නය :- මල්ල ඉරිලා තිබුණොත් නේ ප්‍රශ්නෙ?
පිළිතුර (අමාත්‍ය උදය ගම්මන්පිල) : -එහෙනම් ඇඟිල්ල දාල බලන්න මොනා ද තියෙන්නෙ කියලා .
හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ඇමරිකාවත්, චීනයත්, ඉන්දියාවත් ලංකාවට කරන බලපෑම් ඉතා දැඩි ලෙස වැඩි වී ඇති බවයි.
''ප්‍රධානම අර්බුදය තියෙන්නෙ භූ දේශපාලනික වශයෙන් ,ඇමරිකාවත් ඊළඟට චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑම් ඉතා දැඩි ලෙස වැඩිවෙලා තියෙනවා. මේ භූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම තමයි ප්‍රධාන කාරණයක් බවට පත්වෙලා තියෙන්නේ''
ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, අපි වැඩ වර්ජනයට පිවිසෙන බවයි.
''ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ''