ගුරුවරු අද (25) වයඹ ආණ්ඩුකාර කාර්යාලය වට කළේ ඇයි?

by Staff Writer . 25-10-2021 | 11:14 PM

COLOMBO (NEWS1ST):  අද පාසල් කාලය අවසන්වීමෙන් පසුව පස්වරු 2.00 ට පමණ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයෝ කොළඹ, කොටුව දුම්රියපොළට ඉදිරිපිට රැස්වූහ.

තවමත් නොවිසඳුණු සිය ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් පිරිස අනතුරුව විරෝධතාවක් ආරම්භ කළේ ය. එහිදී ඔවුන් කියා සිටියේ අද සිට තමන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් ආරම්භ කරන බවයි. එහිදී ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මෙලෙස අදහස් පළ කළේ ය.
''අපි දන්නවා උද්දච්ච බැසිල් රාජපක්ෂ ඇමතිවරයා දිගින් දිගටම අපට සාකච්චාවක් දෙන්න බෑ කියලා හිටියා අපි දන්නවා බැසිල් රාජපක්ෂට ඕන මේ රටේ දෙලක්ෂ 47000 ක් ගුරුවරුවත් 16000ක් විදුහල්පතිවරුවත් නෙවෙයි. මේ රටේ දේපළ විකුණන්න. ඔහුගේ මුදල් අමාත්‍යංශය තුළ අද මේ රටේ ආර්ථිකය බංකොලොත් වෙලා තියෙන්නේ, ගුරුවරු විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරන්න මෙයාට බෑ. අපි පෙන්වන්නම් මහත්තයෝ අපේ බලය මොකක්ද කියලා''
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, 43 ලක්ෂයක් දරුවන්ගේ ප්‍රශ්න විසඳීමට වෙලාව නැති බලධාරීන්ට වෙනත් කාරණා සඳහා වෙන් කිරීමට කාලය ඇති බවයි.
''අපි ආණ්ඩුවට කියනවා. තවත් කල් මරලා හරියන්නේ නෑ.තවත් උද්දච්ච විදිහට සාකච්ඡාවක්වත් ලබා නොදී ගෝඨාභයලා බැසිල්ලා නාඩගම් නටනවා මං දැක්කා පහුගිය දවස්වලටත් අපට සාකච්චාවක් වත් දෙන්න වෙලාව නැති 43 ලක්ෂයක් දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න වෙලාව නැති මහත්වරු වෙන වෙන ඒවට කාලේ වෙන්කරනවා''
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අනතුරුව කෙටි විරෝධතා පාගමනක ද නිරතවිය. මේ අතර කුරුණැගල නගරයට රැස්වූ ගුරු විදුහල්පති සංගම් විරෝධතා පාගමනකින් පැමිණියේ ආණ්ඩුකාර කාර්යාලය වෙතයි. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පළ කළ අදහස්වලට ඔවුහු එහිදී විරෝධය පළකළහ. විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ ආණ්ඩුකාර කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණ. ගුරු විදුහල්පති සංගම් හා පොලීසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ, පිරිස ආණ්ඩුකාර කාර්යාලයේ බැම්ම නැගීමට උත්සාහ කළ අවස්ථාවේදී ය. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ තවත් විරෝධතාවයක් වැලිමඩ නගර මධ්‍යයේදී පැවැත්විය. දඹුල්ල, නිට්ටඹුව, හොරණ සහ මීගමුව ඇතුළු ප්‍රදේශවලත් අද ගුරු විරෝධතා සංවිධානය කර තිබිණ. මේ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද සිට රටපුරා සියලුම ප්‍රාථමික පාසල් සහ පාසල්වල ප්‍රාථිමික අංශ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ විය. බොහෝ ප්‍රදේශවල සිසු දරු දැරියන්ගේ පැමිණීම සාමාන්‍ය මටට්මක පැවැති අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බෝහෝ පිරිසක්ද අද පාසල් වෙත පැමිණියේ දින සියයකට අධික කාලයක් ක්‍රියාත්මක වූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් පසුවයි. අද දිනයේ සිසු සිසුවියන්ට සුදුසු ඇඳුමකින් පාසලට පැමිණිමට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.