ගම්මැද්ද... රලපනාව ජනතාවගේ ත් පවස නිවා ලූ වගයි..!

by Staff Writer . 25-10-2021 | 3:12 PM

COLOMBO (NEWS1ST):  ජීවිත කාලයටම මුදල් ගෙවා පිපාසය නිවාගත් නවගත්තේගම රලපනාවේ පවුල් 200කට අද (25) සිට හිතේ හැටියට පිපාසය නිවා ගැනීමට අවස්ථාව උදා විය.

ගම්මැද්ද මේ සද්කාර්යයට එක් වන්නේ අදට යෙදෙන සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර් .රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් සමරු පුණ්‍යානුමෝදනා පිංකමට සමගාමීවයි. මෙම සද්කාර්යය සිදු කෙරුණේ, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියලේ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. පුත්තලම නවගත්තේගම රළපනාව ජල මූලාශ්‍ර සහිත ගම්මානයක් වුවත් එම මූලාශ්‍ර සියල්ලම වාගේ අපිරිසුදුයි. එම නිසා කුලී වැඩ කර හරි හම්බකරන සුළු මුදලෙන් කොටසක් පානීය ජලය වෙනුවෙන් වෙන් කිරීමට මෙම ගමේ ජනතාවට සිදු විය. දරාගන්න බැරි වියදමත්,නිවාගන්න බැරි පිපාසයත් කාට කියන්න ද? ගම්මු ගම්මැද්දට දැනුම් දුන්නේ ය. ගම්මැද්ද වහා ක්‍රියාත්මක වුණේ, හැමදාමත් වගේ ජනතාවගේ සහය ඇතිවයි. මෙම ව්‍යාපෘතියට තාක්ෂණික සහය ලැබුණේ නාවික හමුදාවෙනි. මේ අවාස්ථාව සඳහා සර්වආගමික පූජකතුමන්ලා ද එක්ව සිටියහ. ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් සහ දරුවන්ට පාසල් උපකරණ දෙන්නත් ගම්මැද්ද පියවර ගෙන තිබිණ. පුත්තලම රළ පනාව ට අද අලුත් දවසක්... රළපනාවට අද ඉඳන් අලුත් හිනාවක් එක් වේ.