ආගමික පූජා සඳහා 50කට සහභාගී වීමට අවසර

මුස්ලිම්, කතෝලික හා හින්දු ආගමික පූජා සඳහා 50කට සහභාගිවීමට අවසර

by Sagarika Chathumali 24-10-2021 | 12:01 PM

COLOMBO (NEWS1ST):  මුස්ලිම්, කතෝලික හා හින්දු ආගමික ස්ථානවල පූජාවන් පැවැත්වෙන දිනවලට පමණක් පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගීවීම සඳහා අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අනෙකුත් දිනවලදී තනි තනිව ගොස් ආගමික කටයුතුවලට සහභාගි විය හැකි බවයි. ඒ් අනුව විශේෂ පූජා ඇති දිනකට පමණක් 50 දෙනෙකුට සහභාගී වීම සඳහා අවසර හිමි වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ, එවැනි අවසර ලබාදීම් නැවත වරක් රෝගය පැතිරීමට අවස්ථාවක් කර නොගන්නා ලෙසයි. 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කඨින උත්සව පැවැත්වීම සඳහා මීට පෙර අවසර ලබා දුන්නේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මංගල උත්සව සඳහා සංවෘත ශාලාවක නම්, 50 දෙනෙකුගේ උපරිමයකට යටත්ව සහ විවෘත ස්ථානයක 75 ක් සඳහා අවසර ලබා දුන්න ද එම සීමාවන් ඉක්මවා පුද්ගල සහභාගීත්වයෙන් මංගල උත්සව පවත්වන බවට පැමිණිලි ලැබෙමින් ඇති බවයි. ඇතැම් හෝටල්වල පුද්ගලයින් 200 - 300 දක්වා පිරිස්වල සහභාගී වන බවටත් මංගල උත්සවවලදී මුහුණු ආවරණ නොමැතිව නටමින්, ගයමින් සිදු කරන ක්‍රියාකාරකම් කිසිසේත් අනුමත නොකරන බව ත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.