පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා ඇලහැර ගොවින් උපවාසයක

by Staff Writer . 24-10-2021 | 11:00 PM

COLOMBO (NEWS1ST):  පොහොර ගැටලුවලට විසඳුම් ඉල්ලලා කරන ගොවි අරගල මේ වනවිට උපවාස දක්වා වර්ධනය වි තිබේ.

ඇලහැර ගොවි ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් අද අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ, බකමූණ නගරයේ වටරවුම අසලයි. තම වගාවන්ට නිසි ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර ලබා දෙන තෙක් උපවාසය අත් නොහරින බව ගොවීහු පැවසූහ. පොහොර නොමැතිව පීඩාවට පත් බදුල්ල රිදීමාලියද්ද ගොවීහු පා ගමනින් ඌරණිය මහ යාය වෙල් යායට පැමිණ සිය විරෝධය පළ කළහ. එහිදී පීඩාවට පත් ගොවීහු මෙලෙස විරෝධය පළ කළහ. මුන්නැහේගේ වැඩ නිසා අපිට කන්න වෙන්නේ මහ පොළොවේ පස්. අපේ දරු පැටියන්ටයි.. ගමට එන්න නම් එපා හැබැයි--
''අර ලොකු මිනිසුන්නට වගේ ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු මිදි වතු,, ඇමරිකාවේ ඉඩකඩම් ගෙවල් දොරවල් නැහැ. අහිංසක ගොවියෝ බඩවියත රැකගන්න පොහොර ටිකක් ඉල්ලන්නේ. ඒක වැරදි කියලා මේ මිනිස්සු කියනවා නම් මේ මිනිස්සුන්ට මොකක්ද කරන්න ඕනි මහත්තයෝ. ඔබතුමන්ලා හරි කියන්න. අපිම හදා ගත්ත ආණ්ඩු. අපිටම කෙළිනවා'' ''මහින්දානන්දලාට බත් කැවෙනවාද?.. උගුරින් පල්ලෙහාට බත් බහිනවාද?'' ''අපි හම්බ කරන ඒවාගෙන් තමයි මහ එවුන් හොරා කන්නේ. මෙච්චර කාලයක් හොර කෑවද ? නැද්ද කියලා බැලුවේ නැහැ මහත්තයෝ.. අපි දැනන් හිටියා හොර කනවා කියලා. මේ වගේ ප්‍රසිද්ධියේ හොරා කන හැත්තක් නෑ. මහ එවුන්ගේ කටවල් මුඛ වාඩම් බැදලාද.. කතා කරපියව් මහ ගොන්බාන''
අනතුරුව පිරිස පාගමනින් නැවත මහියංගණ - බිබිල ප්‍රධාන මාර්ගය වෙත පැමිණ විරෝධය පළ කළේ ය. කණ්ඩලම සහ හුරුළුඇළ ඇතුළු ගොවි ව්‍යාපාරවල ගොවීහු දඹුල්ල ගම් උදාව භූමියේ සිට පාගමින් දඹුල්ල නගරයට පැමිණ විරෝධතාවයෙහි නිරත වූහ. හම්බන්තොට ඌරුබොකුඔය ව්‍යාපාරයේ ගොවීන් අද විරෝධතාවක් සංවිධානය කර තිබුණේ රළුව සිට මැදමුලන මංසන්ධිය දක්වා පාගමනින් පැමිණීමටයි.. නමුත් වීරකැටිය පොලිසිය මැදමුලන මංසන්ධියේ විරෝධතාව වළක්වාලමින් අධිකරණ නියෝගයක් ගෙන තිබිණ. ඒ අනූව පිරිස රළුව සිට අතුරු මාර්ගයක් ඔස්සේ මැදමුලන වෙල්යායට පිවිස මංසන්ධිය වෙත පැමිණීමට කටයුතු කළේ ය. එම ස්ථානයේ කෙටි වේලාවක් පිරිස විරෝධය පළ කළේ ය. මේ අතර පොහොර ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැසක් අදත් ප්‍රදේශ කිහිපයකදී පැවැත්විණ. ලුණුගම්වෙහෙර කැන්දගස්මංකඩ මන්සන්ධියේ සිට පැමිණි ගොවි විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේ ය. එහිදී විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
''හරවලා යවපු පොහොර නැව දෙවැනි පරීක්ෂණයේ ප්‍රතිඵල එන්නත් කළින් කවුද මේක ආපහු එවන්නේ. කාගේ බලපෑම්වලට ද මේ ආණ්ඩුව යටත්වෙන්නේ. ඇත්තටම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට මම ස්තූතිවන්ත වෙනවා. ඔහු උපදෙස් දීලා තියනවා වරාය අධිකාරියේ සභාපතිවරයාට ඔය පොහොර නැව වරායට ඇතුළ් කරන්නටත් එපා පිටත නැංගුරම් ලා ගන්නටත් ඉඩ දෙන්න එපා ,, හැබැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට තියන කොන්ද මේ ආණ්ඩුවට නැහැ. මුදලට යට වෙලා කොමිස් මුදලට යට වෙලා , පගාවට අල්ලසට යටවෙලා. රට පාවා දෙනවා. මහලොකු දේශප්‍රේමීත්වය. අද වීරයෝ හැංගිලා අද වීරයෝ යටත්වෙලා. තමන් යටත්වෙලා පමණක් නෙමෙයි ලංකාආණ්ඩුවත් යටවෙලා රටත් යටත්වෙලා. කාටද පොහොර කොම්පැණියකට. මම කියනවා මේ ආණ්ඩුවට කොන්දක් තියනවානම් කශේරුකාවක් තියනවානම් වහාම එළිපිට කියන්න මේ නැවට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට එන්නට කිසිම අයිතියක් නැහැ. පාවිච්චි කරන්න නාවික හමුදාව ඒ නැව මේ රටට ඇතුළු වීම තහනම් කරන්නට. අපි පැහැදිලිවම කියනවා මේ වස විෂ අඩංගු , ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බාල පොහොර නැව අපේ රටට ගෙන එන්නට අපි ඉඩ තබන්නේ නෑ නෑ නෑමයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම ගොවියාගේ ඉල්ලුමට සැපයුම ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි''
පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලමින් සමගි ජනබලවේගය සංවිධානය කළ තවත් විරෝධතාවක් තෙල්දෙණිය කුරුකොහොගම වෙල් යායේදී පැවැත්විය. මේ අතර අද පොහොර ගැටලුව හා ජීවින වියදම් ගැටලුවට විසඳුම් ඉල්ලමින් පුත්තලම කලපුව අසල ත් සමගි ජන බලවේලය විරෝධතාවක් සංවිධානය කර තිබිණ. පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලමින් අනුරාධපුර කහටගස්දිගිලිය රත්පත්විල ප්‍රදේශයේදීත් සමගි ජන බලවේගය විරෝධතාවක් සංවිධානය කර තිබිණ. අනතුරුව දේව කන්නලව්වක් ද පැවැත්විය.   https://www.youtube.com/watch?v=AevKHIlkW3U