අහසට වෙඩි තැබූ SIට විනය ක්‍රියාමාර්ග..

කුප්පියාවත්තේදී අහසට වෙඩි තැබූ SIට විනය ක්‍රියාමාර්ග

by Sagarika Chathumali 24-10-2021 | 11:20 AM

COLOMBO (NEWS1ST):  කඩවත, කුප්පියාවත්තේදී අහසට වෙඩි තැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක දී එක් පාර්ශවයක පුද්ගලයෙකු කළ පහරදීමකින් තුවාල ලැබූ අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි. පසුව එම පහර දීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස්  ඇත. එහිදී අදාළ පුද්ගලයගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එහිදී පිරිස පාලනය කිරීම සඳහා උප පොලිස් පරීක්ෂකවරයා අහසට වෙඩි තබා තිබේ. කෙසේ වෙතත් අදාළ සැකකරු අත්ඩංගුවට නිලධාරීන් කණ්ඩායාම ක්‍රියා කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ නිලධාරීයා එම අවස්ථාවේ නිවැරදිව රාජකාරිය කර ඇති නමුත් අහසට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවයි.