අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ පිංකම අද...

by Staff Writer . 24-10-2021 | 8:29 PM

COLOMBO (NEWS1ST):  සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ පිංකම අද (24)පැවැත්විය.

ඒ කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදීයි. ගාල්ල අම්බලන්ගොඩ ගල්දුව ආරණ්‍ය සේනාසනවාසී භික්ෂූන් වහන්සේ 20 නමක් අද (24) පෙරවරුවේ කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලයට වැඩම කළේ, ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ පිංකම නිමිත්තෙනි. කැපිටල් මහරාජා සමූහයේ සභාපති සෂී රාජමහේන්ද්‍රන් මහතා ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පැමිණ සිටි පිරිස පංචසීලයේ පිහිටුවීමෙන් අනතුරුව පිංකම ආරම්භ වූ අතර වැඩම කළ භික්ෂූන් වහන්සේ උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීය. අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ පිංකම සඳහා වැඩමවා වදාළ  ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ උපලේඛකාධිකාරී,  විනයාචාර්ය පූජ්‍ය ලග්ගල කල්‍යාණවංශ ස්වාමීන් වහන්සේ අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා පිළිබඳ මෙලෙස ගුණානුස්මරණය කළහ.
''රාජාමහේන්ද්‍රන් මැතිතුමා ජීවත්වෙලා ඉන්න කාලේ එතුමා ඉතාම නුවණින් තේරුම් ගත්ත කාරණයක් තමයි සෑම ආගමක්ම ජීවිතයක් යහමගට ගෙන දෙන පිළිවෙතක් කියන කාරණය. එය තේරුම් අරගත්ත නිසා එතුමා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල සේවාවන් ඉෂ්ඨ කර තිබෙනවා. අපි දන්නවා අපේ බෞද්ධ විහාරස්ථානවලට විදේශ රටවලට ඇතැම් අවස්ථාවල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලැබිලා නෑ. මෙතුමාගේ වියදමින් මෙතුමාම ගමන් කරලා විදේශ රටවල පවතින විහාරස්ථානවලට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කරලා තියෙනවා. මේ කවුරුත් නොදන්න පිංකම් එතුමා රාශියක් සිද්ධ කරගෙන තියෙනවා. හැමෝම මැරුණාට හැමෝටම මේ වාගේ පිං ලබන්න වාසනාවක් නෑ. එතකොට අපිට පැහැදිලියි මහේන්ද්‍රන් මැතිතුමා කොයි තරම් වාසනාවන්තද? පුණ්‍යවන්තද? නැණවන්තද? ගුණවන්තද? කියන කාරණය අපිට අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ. ඒ නිසා අපිට ඉතිරි කරලා ගියේ එතුමා එතුමාගේ ගුණය''
වැඩම කළ භික්ෂූන් වහන්සේ උදෙසා පාරම්පරික ඖෂධ වට්ටෝරුවලින් පඩුපොවන ලද දහස්කඩ සහ සියස්කඩ චීවර පුජාවක් ද මෙහිදී සිදුකෙරුණු අතර එම චීවර ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ පිංකම නිමිත්තෙන්ම සකස් කර තිබීම විශේෂත්වයකි. තෙමස් පූර්ණ පිංකමට සමගාමීව හෙට (25) බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමවාසී අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ධර්ම දේශනා පිංකමක් පැවැත්වීමට ද නියමිත ය.