හොර පාරෙන් නැව එයි ද?

හරවා යැවූ චීන පොහොර නැව කෝ ?

by Staff Writer . 23-10-2021 | 8:39 PM

COLOMBO (NEWS1ST):  ඉන්දියාවේ දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේ ගනුදෙනුව පිළිබඳව ගැටලුවක් මතුවෙද්දී චීනයෙන් ගෙන්වීමට සූදානම්වූ කාබනික පොහොර තොගය පිළිබඳවත් දැන් යළිත් ගැටලුවක් මතුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ චීනයේ චීන්දාඕ සීවින්ග් බයොන් ටෙක් සමාගමේ පොහොර මෙට්‍රික් ටොන් විසිදහසක් රැගත් හිපෝ ස්පිරිට් නමැති නැව කොළඹ වරායට ළඟා වෙමින් ඇතැයි වාර්තාවීමයි. මෙම නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළුවීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි, හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් සිල්වා මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ය. ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් සමග ඊයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ බවයි. නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළුවී නොමැති බවත් එහි පැමිණීම පිළිබඳව මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ ය. මේ අතර චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමූහය පසුගිය 22 වනදා මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ. චීන සමාගම එම ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර තොගයේ අර්වීනියා නමැති බැක්ටීරියා ඇති බවට තහවුරුවීම මෙරට පරීක්ෂණ ක්‍රියාවලියේ ඇති දුර්වලකමක් බවයි. අදාළ පොහොර තොගය මෙරටට එවීමට පෙර චීනයේ චින්දාඕ රේගුව විසින් සිදු කළ පරීක්ෂණවලදි අර්වීනියා නමැති බැක්ටීරියාව අඩංගු වී නොමැති බව තහවුරු කළ බව ද එම ලිපියේ සඳහන් ය. චීන සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යොමු කළ ලිපියෙන් යෝජනා කර ඇත්තේ තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා තත්ත්වය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් දැනට ප්‍රතික්ෂේප කර ඇති හිපෝ ස්පිරිට් නෞකාවේ ඇති පොහොර සාම්පල ලබාගෙන දෙපාර්ශ්වයම එකඟ වන තුන්වන පාර්ශවයක් හරහා නැවතත් තත්ත්ව පරික්ෂා කළ යුතු බවයි. කෙසේවෙතත් අදාළ නෞකාව කොළඹ වරායට ඇතුල්කර නොගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා වරාය සභාපතිවරයාට පසුගිය 22 වනදා ලිඛිතව දැනුම්දී තිබේ. ඔහුගේ ලිපියේ සඳහන් වන්නේ චීන සමාගමට කාබනික පොහොර තොග ගෙන්වීමට කිසිදු බලපත්‍රයක් මෙරටින් නිකුත්කර නොමැති බවයි. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ නැව් ස්ථානගතවී ඇති ආකාරය ප්‍රදර්ශනය වන වෙසල් ට්‍රැකර් හෙවත් නාවුක දත්ත තොරතුරු පද්ධතියේ හිපෝ ස්පිරිට් නෞකාව දින ගණනාවක සිට මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටින ආකාරයක් පිළිඹිබු වේ. මේ අතරවාරයේ අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇතැයි හඳුනාගත් චීනයේ චින්දාඕ සීවින්ග් බයොන්ටෙක් සමාගමට හා එහි දේශීය නියෝජිතයාට විවෘතකර ඇති ණයවර ලිපිය මගින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස මහජන බැංකුවට අධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර තිබේ. වානිජ මහාධිකරණය මේ නියෝගය නිකුත්කර ඇත්තේ ලංකා පොහොර සමාගම කළ ඉල්ලීමකට අනුවයි. ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීව්න් අඩංගු විය හැකි බව නැව් උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇතැයි පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය. එහිදී නැවතත් තහවුරුවූයේ ජාතික ශාක නිරෝධායන සේවය සිදුකළ නියැදි පරීක්ෂාවේදී ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් ඇතැයි තහවුරුකර ඇති බවයි.