වැලිකඩ නොසන්සුන් වූ රැඳවියන් පාලනය කෙරේ

by Staff Writer . 23-10-2021 | 2:35 PM

COLOMBO (NEWS1ST):  වැලිකඩ බන්ධනාගාරය තුළ නොසන්සුන් ලෙස හැසිරුණු රැඳවියන් පාලනය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ මේ වන විටත් රැඳවියන් 15 දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහලය මතට නැග සිටින බවයි. ඔවුන් දිගින් දිගටම වහලින් බැසීම ප්‍රතික්ෂේප කර තිබේ. මොවුන් කළහකාරි ලෙස හැසිරෙමින් සෙසු රැඳවියන්ට හිංසා කිරීම හේතුවෙන් අද දහවල් බන්ධනාගාර නිලධාරින් යොදවා තත්ත්වය පාලනයට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ නොසන්සුන් ලෙස හැසිරුණු රැඳවියන් සිරමැදිරි වෙත යොමුකර ඇති බවයි. දීර්ඝ කාලීනව බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින රැදවියන් පිරිසක් මෙසේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ ඔවුන්ගේ දඬුවම් කාලය අඩුකිරීමට හෝ පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි. මත්ද්‍රව්‍ය සහ දූෂණ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියමවූ රැඳවියෝ ද ඒ අතර සිටිති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ පිරිසක් ඇතුළු බලධාරින් ඔවුන් සමග සාකච්ඡා කළ ද සිරකරුවන් වහලින් පහළට බැසීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව අද දිනයේ තත්ත්වය පාලනය කිරිමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ අදාළ රැඳවියන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කමිටුවක් මගින් යාන්ත්‍රණයක් සකස් කරගෙන යන බවයි. එසේ තිබියදී පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.