ආන්දෝලනයක් ඇති කළ ඉන්දීය දියර පොහොර ගනුදෙනුව..

by Staff Writer . 23-10-2021 | 10:01 PM

COLOMBO (NEWS1ST) ඉන්දියාවෙන් දියර පොහොර ආනයනයේදී පෞද්ගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ චෝදනාව පිළිබඳව සමාජයේ මේ වනවිට පවතින්නේ ආන්දෝලනාත්මක තත්ත්වයකි.

පොහොර නොමැතිකම්න් ගොවි ජනතාව පීඩාවට පත්ව සිටිද්දී පොහොර ආනයනයට යෙදවූ මහජන මුදල් පෞද්ගලික සමාගමක ගිණුමකට යෙදවීම ගැන මන්ත්‍රී විජිත හේරත් මහතා ද පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේ ය. පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අනාවරණය කළේ, ඉන්දියවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 29 ක මුදලක් පසුගිය 17 වනදා මෙරට ආරම්භ කල පුද්ගලික සමාගමක ගිණුමකට බැර කර ඇති බවයි. එම මුදලින් රුපියල් නව කෝටි විසි ලක්ෂයක මුදලක් පමණක් පොහොර ගෙන්වීමට වියදම් කර ඇති බවත් ඉතිරි මුදල අදාළ ගිණුමේ තවදුරටත් ඇති බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ කියා සිටියේ ය. විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ (22)සිදු කළ ප්‍රකාශය...
''පී.බී ජයසුන්දර මහත්තයා උඩින් මැදිහත්වෙලා මහජන බැංකුවට නියෝග කරනවා. වෙනම පෞද්ගලික ගිණුමක් මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවේ විවෘත කරන්න. මොකක්ද ඒ මහජන බැංකුවේ විවෘත කරපු ශාඛාවේ නම යුනයිටඩ් ෆාර්මර්ස් ට්‍රස්ට් ලිමිටඩ් එකවුන්ට්. ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක්. එක පාරට 18 වෙනිදම පටන් ගන්නවා. මේක මහ අරුම පුදුම රටක්. ලේසි පහසු ගාණක් නෙවේ.ඩොලර් මිලියන 1.257 රුපියල් කෝටි විසිනමයක්, විසිනම කෝටි තිස් දෙලක්ෂයක්. විසිනම කෝටි තිස්දෙලක්ෂයක් වෙන අරමුදලක්. පුද්ගලික ගිණුමකට මහජන බැංකුව කොහොමද යොදන්නේ, ඒ ගිණුමේ කවුද ඉන්න,ඩිරේක්ටර්ස්ලා ඒ සමාගමේ. එක්කෙනෙක් ඉන්නවා ජී. මෙහොන් ටී පෙරේරා. කවුද? මේ මොහොන් පෙරේරා. අනිත් එක්කෙනා තමයි පී.වී.ජී.එම් වීරසිංහ. ඒ ගිණුමට රුපියල් කෝටි 29 ක් මහජන බැංකුවෙන් යවනවා, ඩොලර්වලින්, ඒ යවපු මුදල්වලින් ඒ සමාගම ඩොලර් ලක්ෂ 3 ක් ගෙවනවා. ඉන්දියානු පොහොර සමාගමට. තව ඩොලර් 50,000 ක් ගෙවලා තියනවා. ප්‍රෙට් චාර්ජර්ස් තව ඩොලර් 37 000ක් ගෙවනවා. ඇත්තටම ගත්තොත් කෝටි 29 න් වියදම් කරලා තියෙන්නේ 9 කෝටි විසි ලක්ෂයයි. විසි කෝටි දොළොස් ලක්ෂ පනස් දාහක් රුපියල්වලින් ගත්තොත් මේ ගිණුමේ තියනවා. මේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නා 18 වෙනිදම මහජන බැංකුවේ දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ඉතුරු සල්ලි ටික රුපියල්වලට පරිවර්තනය කරන්න. මොකටද මේ රුපියල්වලට පරිවර්තනය කරන්නේ.ඉස්සරහට ගේන නයිට්‍රජන් සඳහා සල්ලි ගෙවන්න නම් ඩොලර් නේ ඕන. මොකටද මේ රුපියල්වලට පරිවර්තනය කරන්නේ''
මේ අනාවරණය පිළිබඳව අද පුවත්පතක පළ වී තිබූ වාර්තාවක් පදනම් කරගනිමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර තිබේ. එම පුවත්පත් වාර්තාව පළ කර තිබුණේ, ඉන්දියානු පොහොරවලට ගෙවීමට රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කිරීමට ජනාධිපති ලේකම්වරයා බලපෑම්කර ඇතැයි යන ශීර්ෂයෙනි. පොහොර ගෙන්වීමට අදාළ බැංකු ගිණුම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහජන බැංකුවේ නගර ශාඛාවට දිගින් දිගටම බලපෑම්කර ඇති බව පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබිණ. ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළේ, ඉන්දියානු පොහොරවලට ගෙවීමට රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කිරීමට තමන් බලපෑම් කළ බවට නැගෙන චෝදනාව ජනාධිපති ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එය අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව පවසන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. මේ අතර මෙම ගනුදෙනුවේදී මුදල් බැරකළ බවට චෝදනා නැගෙන ගිණුම හිමි යුනියටඩ් ෆාර්මර්ස් ට්‍රස්ට් ලිමිඩට් සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා, ඉන්දියා වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යන නමින් නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම සමාගම හවුල්කරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත එකක් බවයි. ශ්‍රී ලංකා ඉන්දියා වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා යුරෝපා සංගම් ව්‍යාපාර කවුන්සිලය, ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, සිලෝන් ඔයිල් ඇන්ඩ් එනර්ජි පුද්ගලික සමාගම සහ මොහොන් පෙරේරා නමැත්තා සමාගමේ කොටස්කරුවන් බවයි. හරිත කෘෂි කර්මාන්තයක් පිළිබඳව ජනාධිපතිවරයාගේ දැක්ම අනුව යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් සමාගම ඉදිරි වසර දෙකක කාලයක් තුළ කාබනික පොහොර හා කෘෂි රසායන නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වේ. කාබනික කර්මාණ්ත ශාලාවක් සඳහා දැනටමත් මිහින්තලේ ප්‍රදේශයේ අක්කර 30 ක භූමියක් ලබාගෙන ඇති බවත් එය අක්කර 125 ක් දක්වා පුළුල් කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ද ඔවුහු පවසති. මේ අනුව යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් සමාගම 2021 ඔක්තෝම්බර් 18 අලුතින් ආරම්භ කළ සමාගමක් බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දියා වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය නමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පොහොර ගෙන්වීමෙන් පසු ඉතිරි ඩොලර් ප්‍රමාණය රුපියල්වලට පරිවර්තනය කිරිමට ඉල්ලීම් කළේ, ශ්‍රීලංකන් සමාගමට මුදල් ගෙවීමට, ආනයන පාලක බලපත්‍ර ගාස්තුව ගෙවීමට සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ගෙවීමට යැයි ද ඔවුහු පෙන්වා දෙති. තම ගිණුමට බැරකළ මුදලින් ඩොලර් තුන්ලක්ෂ අසූහත්දහස් හැත්තෑ දෙකක මුදලක් පමණක් ඉන්දීය සමාගමට බැර කර ඇතැයි නැගෙන චෝදනාවට ද ඔවුන් පැහැදිලි කිරීමක් කර තිබේ. එම පැහැදිලි කිරීමේ සඳහන් වන්නේ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් ගිණුමට භාණ්ඩාගාරයෙන් මුදල් තැන්පත් කිරීමෙන් පසුව සහ ශ්‍රී ලන්කන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහනය වෙන්කරවා ගැනීමෙන් පසුව නැනෝ නයිට්‍රජන් ලීටර් ලක්ෂයක පළමු තොගය ඊට පැටවීමට ප්‍රමාණවත් ධාරිතාවක් ගුවන් යානයේ නැතැයි පෙනී ගිය බවයි. භාණ්ඩ ප්‍රවාහනයේදී ඇතිවූ ගැටලුව නිසා අපේක්ෂිත ධාරිතාවෙන් තුනෙන් එකකට අදාළව පමණක් ඉන්දීය සමාගමට ගෙවීම් සිදුකළ බව ඔවුහු පවසති. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයින් සහ කෘෂිකර්ම අමත්‍යවරයාත් අද අදහස් පළ කළේ ය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටින්නේ, මේ ගිණුම විවෘත කිරීමට සහ මෙතරම් මුදලක් එම සමාගමට බැර කරන ලෙස උපදෙස් දුන්නේ කවුරුන් ද යන්නයි.
''ගුවන්තොටුපළට ගියා රාජ්‍ය ඇමතිවරයා මේ සියලු දෙනා අපිට පේන විදිහට මේ සිද්ධිය පිටි පස්සේ ඉන්නවා. එහෙම නැත්නම් මේ වගේ පෞද්ගලික ගිණුම් පටන් ගන්න ඕනේ නැහැ. ව්‍යාපාරයක් නෙමෙයි මේක. මේ සමාගම ලියාපදිංචි වුනේ කාගේ වුවමනාවට ද? ඒක කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ද, කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා ද,කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ඇමැතිවරයා ද,එහෙම නැත්නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ද,එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ ලේකම් පී.බී. ජයසුන්දර මැතිතුමාද? කවුද මේ ගිණුම පටන් ගන්න කියල උපදෙස් දුන්නේ. කවුද? මේ තරම් මුදලක් මේ සමාගමට බැර කරන්න කියලා උපදෙස් දුන්නේ''
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ, මෙය ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර ගනුදෙනුවක් බව ත් එම සමාගම විසින් ලංකාවේ සමාගමක් නම් කර ඇති බවත් මෙලෙස මුදල් බැරවී ඇත්තේ, එම සමාගමේ ගිණුමට බවත් ය. තව ද අමාත්‍යවරයා පැවසුවේ, ගනුදෙනුවේ කිසිදු වංචාවක් සිදුව නොමැති බවයි.
''සී.අයි.ඩී එකට පරීක්ෂණයක් පවත්වන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ නයිට්‍රජන් පොහොර ආනයනය කරන්නේ අපි ඉන්දීය රජයේ සමාගමකින්. අපි මේ ඉන්දීය රජයේ සමාගමත්, අපගේ ඉන්දීය තානාපති කාර්‍යාලයට අයත් ගොවි සමිතියකුත් එක්ක තමයි මේ එකඟතාව ඇවිල්ල තියෙන්නේ, මේක ශ්‍රී ලංකා රජයත් ඉන්දීය රජයත් අතර වෙච්ච ගනුදෙනුවක්. එම සමාගම විසින් නම් කරලා තියෙනවා ලංකාවේ සමාගමක් ඒ සමාගමේ ගිණුමට තමයි මුදල් ගිහිල්ලා තියෙන්නෙ. ඒ සමාගම තමයි එල් සී අරින්නෙ. ඒ නිසා ඒ අයට මුදල් යනවා. එකේ කිසිම වරදක් වෙලා නැහැ. වංචාවක් වෙලා නැහැ''
මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසන්නේ, නැනෝ නයිට්‍රජන් ගෙන්වීමට අදාළව ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජයයි අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.
''ඉන්දියාවේ රජයයි ලංකාවේ රජයයි අතර නැනෝ නයිට්‍රජන් ගෙන්වීම ගැන කිසිදු ගිවිසුමක් අත්සන් කර නැහැ. පුද්ගලයෝ දෙන්නෙක්ගේ පෞද්ගලික සමාගමකටයි රජය මුදල් තැන්පත් කළේ, පළවෙනි වාරිකය ඩොලර් මිලියන 1.3 ක් පුද්ගලයො දෙන්නෙක්ගේ පෞද්ගලික ගිණුමට දැම්මා. එතකොට මේ ශ්‍රී ලාංකිකයෝ දෙන්නෙක්. එතකොට මේ ඉන්දියාවේ ආණ්ඩුවද මේ.ඉන්දියාවේ ආණ්ඩුව ලංකාවේ බැංකුවල ගිණුම් ආරම්භ කරනවද?''