අභාවප්‍රාප්ත ආර්.රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් ආගමික වැඩසටහන්..

by Staff Writer . 23-10-2021 | 11:23 PM

COLOMBO (NEWS1ST): කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්.රාජමහේන්ද්‍රන් මැතිතුමාගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් ඊයේ (22) සහ අද (23) දිනයේ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණ.

හිටපු සභාපතිතුමන් සිහිපත් කරමින් ඊයේ පස්වරුවේ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙනි. මෙම අවස්ථාවට කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ එස්.සී. වීරසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
''මතකයි රාජාමහේන්ද්‍රන් මැතිතුමා හදිස්සියේ ජන්මාන්තරගත වුණ වෙලාවෙ අපේ නායක හාමුදුරුවෝ අතිශයින් කනස්සල්ලට ශෝකයට පත් වෙලා අපිට කතා කරලා කිව්වා. රාජාමහේන්ද්‍රන් මහත්මාගේ අවසාන කටයුතු කිසි අඩුපාඩුවක් නොවන ආකාරයෙන් අනිවාර්යයෙන් සිදු කරල දෙන්න කියලා මොකද උන්වහන්සේ මේ මොහොතේත් ජපානය වැඩ වාසය කරන නිසා''
පූජ්‍ය අම්බුලුගල සුමංගල හිමි - මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරවාසී
''හින්දු භක්තිකයෙකු වුණාට අපිට තේරෙන හැටියට බුද්ධ වන්දනාවට ධාතු වන්දනාවට එතුමා බොහොම කැපවෙලා කටයුතු කරා. අපේ නායක හාමුදුරුවන්ගේ සහෝදරයෙක් විදියට කටයුතු සිද්ධ කරා. එතුමා ඉන්නකම් පින්කම් කරා රජෙක් වගේ සතුටින් හිටියා. ඔබට වඩා රටට පාඩුවක්. ඒ වගේ අවබෝධය කියන කෙනෙක් අද කාලේ පහළ වෙන්නේ නෑ. අපි අවුරුදු පහළවක් ආශ්‍රය කළාම අපි දැක්කේ කල්‍යාණ මිත්‍රයෙක්. දෘතරාෂ්ට විරූප විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සිව්වරම් දෙවිවරුන්ගේ ආශීර්වාදය තවදුරටත් මහා රාජා මහත්තයා බලාපොරොත්තු වුණ විදිහට ලෝකෙට සෙතක් කරන්න ශක්තිය ඔබේ ආයතනයට ඔබට ලැබේවා!''
පූජ්‍ය මොනරාගල පඤ්ඤාලංකාර හිමි - කෘත්‍යාධිකාරී, මහබෝධි අග්‍රශ්‍රාවක විහාරය සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව අවසානයේ උදෑසන සම්බුද්ධ පූජාව සිදුකර මහා සංඝරත්නය උදෙසා හීල් දානය ද පූජා කළ අතර ඊට කැපිටල් මහරාජා සමූහයේ විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ආගමික වැඩසටහනට සහභාගී වීමෙන් පසු කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ එස්.සී. වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''මං හිතන්නේ මේ කරන ලද සියලුම පිං රාජ මහේන්ද්‍රන් මැතිතුමාටත්, කැපිටල් මහරාජා සංවිධානයටත් ඒ වගේම වර්තමාන සභාපති ශෂි රාජ මහේන්ද්‍රන් මැතිතුමා ඇතුළු සියලුම සේවකයන්ටත් මෙම පුන්‍ය කර්මයේ බල මහිමයෙන් කරන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..! ඒ වගේම සියලු දෙනා නිදුක් නිරෝගි වී මේ පවත්නා කොරෝනා උවදුරෙන් නිදහස් විමට කටයුතු සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා..''