රට පුරා අදත් ගොවි විරෝධතා

රට පුරා අදත් ගොවි විරෝධතා

by Staff Writer . 22-10-2021 | 8:57 PM

COLOMBO (NEWS1ST): මහ කන්නයට පොහොර ඉල්ලා අදත් බොහෝ ප්‍රදේශවල විරෝධතා පැවැත්විය.

අනුරාධපුර නුවරවැව ඒකාබද්ධ ගොවි පෙරමුණ සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව සංවිධාන කළ විරෝධතාවක් පැවැත්වුණේ, අනුරාධපුර යාපනය හංදිය ප්‍රදේශයේ දී ය. මැදවච්චිය ගොවීන් හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව අද මැදවච්චිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය. මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන්, එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. අනතුරුව මැදවච්චිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිණී එම්. එම්. එස්. විජේරත්න මහත්මිය ඔවුන් හමුවට පැමිණියා ය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජිතයින් ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ තිබුණු පොහොර ගබඩාවට ඇතුළු වූයේ ඉන් අනතුරුවයි. පොහොර ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් තවත් විරෝධතාවක් අද උදෑසන පැවැත්වුණේ මහවැලි බී. කලාපයට අයත් දිඹුලාගල කළු කැළේ නගරයේදී ය. දිඹුලාගල ඇල්ලේවැව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය, ඇල්ලේවැව ,කලුකැලේ ,මගුල්දමන හා බදනාගල ගම්මානවල ගොවීහු, ඊට එක්ව සිටියහ.