''කිසිසේත් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ..''

''කිසිසේත් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ..''- ඇමති ගම්මන්පිල

by Staff Writer . 22-10-2021 | 11:32 AM

COLOMBO (NEWS1ST):  අද පෙරවරුවේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝළිම් දක්නට ලැබිණ.

ඊයේ රාත්‍රියේ ලංකා IOC සමාගම පෙට්‍ර්ල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් මිල වැඩි කිරීමට පියවර ගත්තේ ය. ඇතැම් ස්ථානවල ඉන්ධන ලබා ගැනීමට පැමිණි වාහන පෝළිම් දක්නට ලැබුණේ, ඊයේ රාත්‍රියේ සිටයි. පෝළිම් පැවතියත් රටේ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ ය.
''ඇත්තටම තෙල් හිඟයක් නෑ.  තෙල් හිඟයක් ඇතිවීමට කිසිම හේතුවක් නෑ. එපමණක් නෙවෙයි මේ වන විටත්,අපි ඉන්දියාවත් සමග ඩොලර් මිලියන 500 ක් ණය පහසුකමක් සූදානම් කරගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. භාණ්ඩාගාරයෙන් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරාවි. ඒ වගේම ඩොලර් මිලියන 3600 ක ණයක් ඕමාන් රාජ්‍යයෙන් ලබා ගැනීමට මේ දවස්වල ගිවිසුම් සකස් කරනවා.ඒ නිසා මේ මාසයේ තෙල් ආනයනය කිරීමට අදාළ ඩොලර් ප්‍රමාණය ලබා මට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඉන් පසුව අපට මේ ලැබෙන ණය පහසුකම් හරහා ඉන්ධන සපයා ගන්න පුළුවන් නිසා විපක්ෂය සිහින මැවූ ඉන්ධන හිඟය ඇති වීමට කිසිදු හේතුවක් නෑ''
මේ අතර අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම අවස්ථාවේ තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක නොමැති බවයි.
''මේ වනවිට අපි විකුණන ඩීසල් ලීටරයකින් රුපියල් 38 කුත් ,පෙට්‍රල් ලීටරයකින් රුපියන් 22 කුත් පාඩු ලබනවා. ඒ අනුව අපි දැක්කා ඊයේ IOC සමාගම රුපියල් 05 බැගින් පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ අවස්ථාවේ තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක නොමැති බව අපි මහ ජනතාවට සිහිපත් කරනවා''