ඉන්දියාවෙන් පොහොර ගේන්න සඳුදා හැදු සමාගමකට මුදල් ගෙව්වේ කොහොම ද?... විජිත හේරත්

by Staff Writer . 22-10-2021 | 10:55 PM

COLOMBO (NEWS1ST):  ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොර ගෙන්වීමේදී ගනුදෙනු සිදුවූ අකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (22)පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළේ ය.

විජිත හේරත් මහතා පැවසුවේ,  ලංකා පොහොර සමාගම හරහා ඉන්දියානු සමාගමට මුදල් ගෙවිය යුතුව තිබුණ ද  එම ක්‍රමවේදය ඔස්සේ නොගොස් පී.බී ජයසුන්දර මහතා මැදිහත්ව මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවේ වෙනම පෞද්ගලික ගිණුමක් විවෘත කරන ලෙස නියෝග කර ඇති බවයි. ‍
''ට්‍රෙෂරි එකෙන් මහජන බැංකුවෙන් ඉල්ලීමක් කරලා තියනවා. පහුගිය 18 වෙනිදා US ඩොලර්ස් 1.257ක් මිලියන මහජන බැංකුවෙන් ජීටී නිකුත් කරන්න කියලා. ඇත්තම ගත්තොත් සල්ලි වෙනුවට අර තාක්ෂණික ක්‍රමවේදය පාවිච්චි කරලා මේ මුදල් මුදා හරින්න කියලා සමාන්‍යයෙන් අපි දන්නවා මහජන බැංකුවෙ පාරිභෝගිකයෙක් වෙනවා , ගිණුම් තියනවා ලංකා පොහොර සමාගමේ. ලංකා පොහොර සමාගම හරහා තමයි එහෙම නම් අඩුම ගානේ ඉන්දියානු සමාගමට මුදල් ගෙවිය යුතු වන්නේ. නමුත් ඒ මොකක්වත් නැතුව පී.බී ජයසුන්දර මහත්තයා උඩින් මැදිහත්වෙලා මහජන බැංකුවට නියෝග කරනවා. වෙනම පෞද්ගලික ගිණුමක් මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවේ විවෘත කරන්න. මොකක්ද ඒ මහජන බැංකුවේ විවෘත කරපු ශාඛාවේ නම යුනයිටඩ් ෆාර්මර්ස් ට්‍රස්ට් ලිමිටඩ් එකවුන්ට්. ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක්''
ඒ අනුව මහජන බැංකුවේ මුදල් පෞද්ගලික සමාගමකට හුවමාරු කර ඇති බව ද විජිත හේරත් මහතා හෙළිදරව් කළේ ය.
''එක පාරට 18 වෙනිදම පටන් ගන්නවා. මේක මහ අරුම පුදුම රටක්. මහජන බැංකුවෙ සල්ලි,පෞද්ගලික සමාගමකට ට්‍රාන්සර් කරනවා. ලේසි පහසු ගාණක් නෙවේ. ඩොලර් මිලියන 1.257 රුපියල් විසිනම කෝටි තිස් දෙලක්ෂයක්. විසිනම කෝටි තිස්දෙලක්ෂයක් වෙන අරමුදලක්,පුද්ගලික ගිණුමකට මහජන බැංකුව කොහොමද යොදන්නේ,ඒ ගිණුමේ කවුද ඉන්න, ඩිරේක්ටර්ස්ලා ඒ සමාගමේ . එක්කෙනෙක් ඉන්නවා ජී. මෙහොන් ටී පෙරේරා. කවුද මේ මොහොන් පෙරේරා. අනිත් එක්කෙනා තමයි පී.වී.ජී.එම් වීරසිංහ. ඒ ගිණුමට රුපියල් කෝටි 29 ක් මහජන බැංකුවෙන් යවනවා,ඩොලර්වලින්, ඒ යවපු මුදල්වලින් ඒ සමාගම ඩොලර් ලක්ෂ 3ක් ගෙවනවා. ඉන්දියානු පොහොර සමාගමට. තව ⁣ඩොලර් 50 000 ක් ගෙවලා තියනවා. ප්‍රෙට් චාර්ජර්ස්. තව ඩොලර් 37 000ක් ගෙවනවා ,   ඇත්තටම ගත්තොත් කෝටි 29න් වියදම් කරලා තියෙන්නේ 9 කෝටි විසි ලක්ෂයයි. විසි කෝටි දොලොස් ලක්ෂ පනස් දාහක් රුපියල්වලින් ගත්තොත් මේ ගිණුමේ තියනවා. මේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නා 18 වෙනිදම මහජන බැංකුවේ දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ඉතුරු සල්ලී ටික රුපියල්වලට පරිවර්තනය කරන්න . මොකටද මේ රුපියල්වලට පරිවර්තනය කරන්නේ. ඉස්සරහට ගේන නයිට්‍රජන් සඳහා සල්ලි ගෙවන්න නම් ඩොලර් නේ ඕන. මොකටද මේ රුපියල් වලට පරිවර්තනය කරන්නේ. මෙතන මහා පරිමාණ සිද්ධියක් වෙලා තියනවා. සභාපතිතුමණි, ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා වහාම මේ පිළිබඳව සොයා බලන්න''
මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ, ඉන්දීය සමාගමක් හරහා ආනයනය කරන ලද පොහොරවල කිසිඳු වංචාවක් සිදුව නොමැති බවයි.
''මේක ඉන්දීය රාජ්‍ය සමාගමකින් අපිට පොහොර ටික ලබා දුන්නේ ගරු මුලාසනේ සභාපතිතුමණි, අපිට මේ පොහොර ආනයනය කරන ප්‍රමාණයෙන් 90% දෙන්නෙ ණයට. මාසෙකින් අපි මුදල් ගෙවන්නේ. අපි මුදල් ගෙවන්නෙත් නැ.නමුත් පළවෙනි කොන්ටිටි එක එවන්ඩ එගොල්ලන්ට මුදලක් ගෙවන්න වුණා. එ මුදල ගෙවන්න යනකොට මුලින් ශ්‍රිලංකන් සමාගම කිව්වා මෙට්‍රික් ටොන් 55 000 ක් ප්ලේන් එකේ ගෙන්න පුළුවන් කියලා. නමුත් එල් සී අරින්න බැංකුවට ගියාට පස්සේ දැන ගත්තා මෙට්‍රික් ටොන් 25 000 යි. අපිට එයාර් ප්‍රෙඩ් කරන්න පුළුවන් කියලා ඒ අනුව එ දුන්න මුදල් ගානෙන් ප්‍රමාණයක් ඒ සමාගමේ ඉතුරු වෙලා තියනවා. නමුත් ඒ ලොජස්ටික් සහ ඒ සියලු දේ සඳහා ඒ අය ගේන්න ඕන. ඒ ඉන්දියානු රජයේ සමාගමක් හරහා  ගෙන්වන ලද මේ පොහොරවල කිසිම වංචාවක් වෙලා නැහැ''