හය මසකට පසු පාසල් ඇරඹේ...

සිසුන් හා ගුරුවරුන් අද (21) පාසල් ආවා ද?

by Staff Writer . 21-10-2021 | 7:47 PM

COLOMBO (NEWS1ST):  මාස 6 කට පසුව සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද (21) ආරම්භ විය.

එම පාසල් විවෘත කළේ, වැටුප් විෂමතා මුල් කර ගනිමින් ගුරු විදුහල්පති සංගම් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවෙමින් සිටියදී ය. දිවයින පුරා අද විවෘත කිරීමට පියවර ගෙන තිබූ පාසල්වලට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදී ඇති අයුරු දැකගත හැකිවිය. සියලුම පාසල්වලට කලාප අධ්‍යපන අධ්‍යක්ෂ කාර්යාවලින් නිලධාරීන් ද යොදවා තිබිණ. වැලිමඩ, මාලිගාතැන්න ප්‍රාථමික විද්‍යාලය වසා තිබීම හේතුවෙන් එක් ගරුවරයෙකු ගේට්ටුවේ අගුළු කඩා ඒ තුළට ඇතුළු විය. එම ගුරුවරයා ගේට්ටුව කඩා ඇතුළු වූයේ, කලාප අධ්‍යක්ෂවරයාට යැයි කියමින් ඇමතුමක් ලබා ගැනීමෙන් පසුවයි. මහනුවර ශ්‍රී සාරානන්ද විද්‍යාලයට ද ගුරුවරුන් හෝ සිසු දරුවන් පැමිණ නොසිටි බව නිව්ස් ෆස්ට් වාර්තාකරු ප්‍රකාශ කළේ ය. නුවරඑළිය ළිදුල පෙරියරාණිවත්ත දෙමළ විද්‍යාලයේ ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එහි දෙමව්පියන් විරෝධතාවයක නිරතවිය. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් පාසල් විවෘත කර තිබූ අතර, එම පාසල්වලට ළමුන් සීමිත පිරිසක් පැමිණ සිටියේ ය. හම්බන්තොට නූර් ප්‍රථමික විද්‍යාලයට අද එක් දරුවෙකු පමණක් පැමිණි අතර එම දරුවා ද උදෑසන 8 වන තෙක් පාසලේ රැඳී සිට යළි නිවෙසට ගොස් තිබේ. ගාල්ල අංකොක්කාවල ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට අද පැමිණ සිටියේ දරුවන් දෙදෙනෙකු පමණි. විදුහල්පතිවරයා හෝ කිසිදු ගුරුවරයකු අද පාසලට පැමිණ නොසිටි අතර උපාධිධාරී අභ්‍යාසලාභීන් පිරිසක් එම පාසලට අනියුක්ත කර තිබිණ. ඇල්පිටිය හිපන්කන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට අද ගුරුවරුන් නොපැමිණි අතර එහි පැමිණි විදුහල්පතිවරයා සහ අභ්‍යාසලාභීන් මා පියවරු මල් මාලා දා බුලත් දී පිළිගත්හ. මොරටුව පොදු ජය විද්‍යාලයට අද පැමිණ සිටියේ සිසුන් දෙදෙනකු පමණි. එහි විදුහල්පතිවරයා ඇතුළු ගුරු වරුන් හත්දෙනෙකු සේවයට වාර්තාකර තිබිණ. පිළියන්දල ශ්‍රී අත්තදස්සී විද්‍යාලයේ සිටියේ ගුරුවරුන් දෙදෙනෙකු සහ කලාප කාර්යාලයේ නිලධාරිනියක පමණි. මොරටුව සැලීනා විද්‍යාලයට ගුරුවරුන් හෝ ළමුන් පැමිණ නොසිටියේ ය . ගම්පහ දිස්ත්‍රික්කයේ හොරගොල්ල ශ්‍රී ලංකා විද්‍යාලය ,කුඩාබොල්ලත ශ්‍රී සුමංගල විද්‍යාලය අතුළු පාසල් රැසක ගරුවරුන් හෝ විදුහල්පතිවරුන් සේවයට වාර්තාකර නොතිබුණු අතර උපාධධාරී අභ්‍යාසලාභීන් අනුයුක්ත තර තිබිණ. පොළොන්නරුව නැගෙනහිර, පලුගස්දමන ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා එක් දැරියක් පමණක් පැමිණ සිටියා ය. එහි සිටියේ ගුරුවරු තිදෙනකු පමණක් වන අතර විජයබාහු පුර ප්‍රාථමික විද්‍යාලයට අද කිසිදු සිසුවෙකු පැමිණ නොසිටියේ ය. කුරුණෑගල, ඇස්වැද්දුම කනිෂ්ඨ විද්‍යාලයට අද එක් දරුවෙකුත්, හින්දු දෙමළ විද්‍යාලයට ළමුයි පස් දෙනෙක් පමණක් පැමිණ සිටියහ. අලකොලදෙණිය කණිෂ්ඨ විද්‍යාලයට කිසිදු දරුවෙකු පැමිණ නොසිටියේ ය. ත්‍රිකුණාමලයේ අද ආරම්භ කෙරුණු පාසල් බොහොමයකට දරුවන්ගේ පැමිණීම සීමාවී තිබිණ. බොහෝ පාසල්වලට පැමිණ සිටියේ 10 දෙනෙකුටත් අඩු පිරිසකි. ත්‍රිකුණාමලය ධර්මරාජ විදයාලයේ දරුවන් අද පැමිණ නොසිටි අතර ගුරුවරුන් සිව්දෙනෙකු සේවයට වාර්තා කර තිබිණ. යාපනය සංකානෙයි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ගේට්ටුව අද වසා තිබූ අතර අරාලි මුරුගමූර්ති රජයේ මිශ්‍ර පාසලට පැමිණි සිසුන්ට ආපසු හැරීයාමට සිදුවිය. යාපනය ඌරෙලු ගනේෂා විද්‍යාලයේ ඉගැන්වීම කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවිය. අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘතවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා කියා සිටියේ මහරගම, බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක් නිරීක්ෂණය කරමිනි.