හෙට පාසල් ඇරෙයි ද? කඹ ඇදිල්ල දිගටම...

by Staff Writer . 20-10-2021 | 10:17 PM

COLOMBO (NEWS1ST):  සිසුන් 200 ට අඩු පාසල් නව වාරය සඳහා හෙට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, ගුරු විදුහල්පති ගැටලුවට විශ්වසනීය විසඳුමක් ලබා දී ඇති බැවින් පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැකි බවයි. පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ, ඒ සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට නැවතත් පාසල් බිම හැඩ කරනු ඇති බවයි. එලෙසින්ම කලකින් නුදුටු සිය සිසු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් හෙට පාසලට එනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. කෙසේවෙතත් ගුරු - විදුහල්පති සංගම් කිහිපයක් හෙට සිට අඛණ්ඩව වර්ජනය කරන බව දැනටමත් නිවේදනය කර ඇති අතර තවත් සංගම් කිහිපයක් නිවේදනය කර ඇත්තේ 25 වන සඳුදා දිනයේ සිට සේවයට පැමිණෙන බවයි. මේ අතර තවදුරටත් දුරකතනය ඔස්සේ තමන්ට විවිධ බලපෑම් සිදුකරන බව ගුරුසංගම් පවසයි. ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් සංවිධායක උදය රූබන් පැවසුවේ, තමාට ද තරජනාත්මක දුරකතන ඇමතුම් ලැබුණු බවත්, බුද්ධි අංශය යොදා සිදුකරන එම තර්ජන පිළිබඳව සිය සංගමය තැකීමක් නොකරන බවයි.
''සරත් වීරසේකර, ඒ කියන්නේ අපේ මහජන ආරක්ෂක අමාත්‍ය තමන්ගේ බුද්ධි අංශ ඔත්තු කණ්ඩායම් යොදලා අපිට තර්ජනය කරනවා. අද උදේත් සමහර ගුරු විදුහල්පතිවරුන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ඇවිත් තියනවා. මටත් එහෙම දුරකතන ඇමතුම් ආවා. අපි 21/ 22 වැඩ වර්ජනයේ නිරත වෙනවා. බුද්ධි අංශය යොදා එයා කරන තර්ජන අපි ගණන් ගන්නේ නැහැ. රුවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරලා අපි 25 වැනිදා 200ට අඩු සිසුන් ඉන්න පාසල්වල වැඩ පටන් ගන්න තීරණය කරලා තියනවා''
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශයට ද ගුරු සංගම් අද ප්‍රතිචාර දැක්වීය. ආණ්ඩුකාරවරයා ඊයේ පැවසුවේ, නොපැමිණි අයට නොවැම්බර් මාසයේ වැටුප් ලබා දීම අත්හිටුවීම පිළිබඳ සලකා බැලීමට පළාත් අධ්‍යාපන ඇමති ලෙස තමන්ට බලතල ඇති බවයි. ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් එම්. ඒ. විමලසිරි මහතා පැවසුවේ, වයඹ පළාතේ සියලු රාජ්‍ය සේවකයින්ට විරුද්ධව සිදු කර ඇති ප්‍රකාශ සියල්ල හෙළා දකින බවයි.
''පුළුවන්නම් මේ මාසයේ වැටුප නවත්තන්න අපි ඒවාට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි ලෑස්ති. එනිසා ආණ්ඩුකාර කාර්යාලය ගුරුවරුන්ගෙන් වටලන්න ඕන ඒකට අපි ලෑස්තියි''
ලංකා ගුරු සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති සරත් ප්‍රේමසිරි මහතා ආණ්ඩුකාරවරයාට අභියෝග කර කියා සිටියේ, හැකි නම්, මේ සටන නතර කරන ලෙසයි.
''කවුරු මොනවා කිව්වත් අපි 21 වර්ජනය නිරත වෙනවා. 22 අපි ඉස්කෝලේ යන්නේ නැහැ. අපි 25 ඉස්කෝලේ යනවා. පුළුවන්නම් ගුරුවරු නවත්තන්න''
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ, පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයකි.
''රාජා කොල්ලුරේ හොඳට මතක තියාගන්න , ඔයා කවුද කියලා. අපි පැහැදිලිවම එක ගුරුවරයෙකුට 25 වැනිදා සේවයට වාර්තා කරන්න ඉඩ නොදුන්නොත් අපි ගන්න ක්‍රියාමාර්ගය ඔය නොමිනිස්ට් පක්ෂ සභාපති රාජා කොල්ලුරේට බලාගන්න පුළුවන්. මේ වගේ තමන්ගේ ජීවිතයම පාවා දීලා සම්පූර්ණයෙන්ම රජයක් වෙනුවෙන් කඩේ යන මේ ජාතියේ මිනිස්සුන්ට වෙන කියන්න වචනයක් නැහැ..''
මේ අතර වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අද නිවේනදය කළේ, නැවත පාසල් අධ්‍යාපනය ආරම්භ කළ හැකි ආකාරයේ එකඟතාවක් ඇතැයි පෙනී යන අතර ඇතැම් පාර්ශ්ව ප්‍රකෝපකාරී ප්‍රකාශ කරමින් ගොඩනැගෙමින් ඇති යහපත් හා සුබවාදී පසුබිම විනාශ කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනී යන බවයි. ගුරු විදුහල්පති වෘත්තිකයින් ඉලක්ක කර නැගෙන සියලු ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. විරසිංහ මහතාගේ අත්සනින් නිකුත්කළ නිවේදනයේ සඳහන් ය. වැටුප් අත්හිටුවීම් හෝ විනය ක්‍රියාමාර්ග පිළිබඳ තර්ජනවලට වඩා අවශ්‍යව ඇත්තේ රජය සහ ගුරු විදුහල්පති ප්‍රජාව එක්ව ක්‍රියාකොට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නැවත පණගැන්වීම බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කර තිබේ. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ද වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළේ ය. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසන්නේ, උවමනාවට වඩා දැඩි නොවිය යුතුය යන්න දකුණු පළාත සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික මතය බවයි.
''පළාත් ආණ්ඩුකාරයෙකුට එවැනි දෙයක් කියන්නත් පුළුවන් , කරන්නත් පුළුවන්. ඒක කරන එක සුදුසුද නැද්ද කියන එක පසුව කල්පනා කරන්න තියන දෙයක්. අපි උවමනාවට වඩා දැඩි වෙන්නත් අවශ්‍ය නැහැ කියලා තමයි මම පුද්ගලිකව දකුණු පලාත වෙනුවෙන් දකින්නේ''