සේදවත්තෙන් හමුවූ කාන්තා මළ සිරුර කාගේ ද? තවමත් අබිරහසක්

by Staff Writer . 20-10-2021 | 10:36 PM

COLOMBO (NEWS1ST):  සේදවත්ත කළු පාලම අසල කැලණි ගං ඉවුරේ තිබී හමුවූ කාන්තා මළ සිරුර හඳුනා ගැනීමට තවමත් නොහැකිවූ බව පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති කාන්තාවන් 5 දෙනෙකුගේ තොරතුරු සමග සංසදනය කළ ද ඒවා මෙම මළ සිරුර සමග නොගැළපුණු බවයි. හිස කෙස් වර්ණ ගන්වා ඇති මෙම කන්තාවගේ දණ හිසේ සීරීම් තුවාලයක් ඇති අතර ඇය අවුරුදු 50 - 55 අතරේ වයසේ පසුවන්නියක බවට අනුමාන කෙරේ. මෙම මරණය සිදු වුයේ දියේ ගිලීමෙන් ද? නැත්නම් ඝාතනයක් ද ?ප්‍රශ්නය තවමත් විසඳී නොමැත. පොලීසිය ප්‍රකාශ කළේ , මළ සිරුරේ පහරදීමක් කළ බවට කිසිදු ලකුණක් දක්නට නොතිබුඛ ද දණ හිසේ සීරීම් සලකුණක් තිබූ බවයි. කාන්තාවගේ පපු ප්‍රදේශයේ රඳවා තිබී මුදල් නෝට්ටු කිහිපයක් හමුවී ඇති අතර ඇය මියගොස් ඇත්තේ මීට දින දෙකකට පමණ පෙර යැයි පොලිසිය සැක පළ කරයි. සේදවත්ත කළු පාලම අසලදී සිදුවූ තවත් අපරාධයක් සම්බන්ධයෙන් පසුගිය පළමුවෙනිදා අනාවරණය විය. පසුගිය අගෝස්තු 17 වැනි දා අතුරුදන් වූ මට්ටක්කුලිය සමිට්පුර ග්‍රාම නිලධාරිණියගේ සැමියා ගෙල සිරකර ඝාතනය කර කැලණි ගඟට දමා තිබුණේ ද මෙම කළු පාලම අසලිනි. ග්‍රාම නිලධාරිණියගේ සැමියාගේ ඝාතනයට සැකපිට අවස්ථා තුනකදී හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 13 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තේ ය.