කුෂිනගර් ගුවන් තොටුපොළ අද විවෘත කෙරේ..

මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස කුෂිනගර් වෙත..

by Staff writer 20-10-2021 | 10:17 AM

COLOMBO (News 1st): ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට මෙරටින් වැඩම කරන මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස අද(20) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ඒ යූ.එල් 1147 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ය. ඉන්දීය ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද විවෘත කිරීමට නියමිත ය. ඒ අනුව ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් යානය පළමුව එහි ගොඩ බැස්වීමට සැළසුම් කර තිබේ. මෙම ගුවන් ගමනට 111 දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් සහභාගී විය. ඒ අතරට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ 95 නමක් ද ඇතුළත් ය. මේ අතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමික වතාවත් සඳහා ඉන්දියාවට වැඩම කරවීම ද මෙහිදී සිදු කෙරිණ. අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක , සිසිර ජයකොඩි යන මහත්වරුන් ද මෙම සංචාරය සඳහා එක්විය.