ගොවිබිමට යන ‌නැනෝ නයිට්‍රජන්...

ගුවනින් ගෙනා නැනෝ නයිට්‍රජන් හෙට සිට ගොවි බිමට..

by Staff Writer . 20-10-2021 | 8:44 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 12.30 ට පමණ මෙම පොහොර තොගය ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කටුනායකට රැගෙන ආවේ ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 8 ක් සඳහා ඇණවුම් කර ඇති නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොර ප්‍රමාණය ලීටර් ලක්ෂ 31 කි. පොහොර තොගය භාර ගැනීම සඳහා අමාත්‍යවරුන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ද ගුවන්තොටුපළට පැමිණ සිටියහ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසන්නේ, ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොරවලින් ලැබෙන බවයි.
''ඉස්සර අපි නයිට්‍රජන් කියන එක පසට දාලා නයිට්‍රේට් සහ ඇමෝනියම් කියන විදියට තමයි පසෙන් ගහ ලබා ගත්තේ. දැන් මුල්වලින් තියන එක ගහේ කොළ වලිනුයි දෙන්න හදන්නේ. දියරයක් හැටියට දුන්නම මේක පූටිකාවලින් කෙලින්ම ඇතුළට යනවා. ආහාර නිශ්පාදනය කරන්න අවශ්‍ය සම්පූර්ණ නයිට්‍රජන් ප්‍රමාණය මේකෙන් ලැබෙනවා''
මෙම දියර පොහොර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබුවේ රජයේ පොහොර සමාගම වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහායි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ පැවසුවේ, මෙය ඉන්දියාවේ අනුමත ලත් සමාගම්වල මුළු ලෝකය පුරාම බෙදා හරින මෙම විශේෂිත පොහොරවල පරපොෂතයින්, දිලීර, බැර ලෝහ නොමැති බවයි.
''ක්ෂද්‍ර ජීවී ඉන්න විශේෂිත පොහොරක් නෙවේ. මේක අපි පරික්ෂාවක් කරලා තියනවා අපි, පරීක්ෂාව කියන්නේ මොකක්ද අපි එස්. එල්. එස් .අයි. එතකොට අනිත් අයතනවල අපි මේවයේ තියන පෝෂක මොනවද කියලා පරීක්ෂා කරලා තියනවා. මේ විශේෂිත පොහොරවල පරපොෂතයෝ ඔය කියන දිලීර එවා තියෙන්නේ නෑ. ඒ වගේම බැර ලෝහ නෑ. මේක ඉන්දියාවේ අනුමත ලත් සමාගම් වල මුළු ලෝකය පුරාම බෙදා හරින එකක්''
ඊයේ ගෙන්වූ තොගයේ නැනෝ නයිට්‍රජන් යූරියා දියර පොහොර මිලිලීටර 500 බෝතල් 44064 ක් අන්තර්ගත වන අතර එම දියර පොහොර තොගය පොහොර සංස්ථාවේ සභාපතිවරයාට නිල වශයෙන් භාරදීම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවූයේ වත්තල හුණුපිටියේ පිහිටි කොළඹ කොමර්ෂල් පොහොර ගබඩාවේදීයි. අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පෙරවරු 10 ට පමණ එම ස්ථානයට පැමිණියත් පොහොර තොගය , ගබඩාවට ළඟා වී තිබුණේ දවහල් 12ට පමණයි. අද අලුයම 12.30 ට කටුනායකට රැගෙන ආ පොහොර තොගය රේගුවෙන් නිදහස් කිරීමේදී සිදුවූ යම් ප්‍රමාදයක් මීට හේතුවූ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. පැය 08 ක පමණ ප්‍රමාදයකින් පසු ලොරි රථ 03 කින් ගෙන ආ දියර පොහොර තොගය රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පොහොර සංස්ථාවේ සභාපතිවරයාට නිල වශයෙන් භාර දුන්නේ ය. එහිදී මාධ්‍යට අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ, හෙට සිට මෙම දියර පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට වැඩසටහනක් සකසා ඇති බවයි.
''හොඳ වැඩක් කරන්න යන හැම වෙලාවකම ගමන අපහසුයි. මේ ගමන අපිට තනියම යන්න බෑ. අපිට මුහුණ දෙන්න තියන ගැටලු රාශියක් තියනවා. මේ සියල්ලට මුහුණදීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා''