ඉන්දියාවෙන් ලද විශිෂ්ටතම ත්‍යාගය බුදු දහමයි... අගමැති පුත් නාමල් ඉන්දීය අගමැති හමුවී කියයි

by Staff Writer . 20-10-2021 | 10:16 PM

COLOMBO (NEWS1ST):  සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ ඉන්දියාවේ කුසිනාරා නුවර හෙවත් කුෂිනගර්හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද විවෘත කෙරිණ.

එහි පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් යානයක් අද පෙරවරුවේ කූෂිනගර් ගුවන් තොටුපොළට ළඟා වූයේ මෙරටින් වැඩම කළ මහා සංඝරත්නය ද සමගයි. මහා සංඝරත්නය ප්‍රමුඛ 111 දෙනෙකුගෙන් සමන්විත මෙරට දූත කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 10147 දරණ විශේෂ ගුවන් යානයෙන් කුෂිනගර් ගුවන් තොටුපොළට ළඟා විය. අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද මේ දූත පිරිසට ඇතුළත් ය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ 95 නමක් කුෂිනගර් වෙත වැඩම කළහ. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ද මහාසංඝරත්නය සමග කුෂිනගර් වෙත වැඩම කරනු ලැබී ය. නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද පෙරවරුවේ විවෘත කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙනි. ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත විය. අද සිට තෙදිනක් පුරා කුසිනාරා නුවර පැවැත්වෙන බෞද්ධ සම්මන්ත්‍රණය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් වැඩම කළ මහා සංඝරත්නය මෙ සමුළුවට සහභාගී වි සිටිති. මෙරටින් වැඩම කරවූකපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ද සමුළුව පැවැවෙන පරිශ්‍රයට වැඩමකරවා තිබිණ. මේ අතර දෙරට අතර බෞද්ධාගාමික සබඳතා වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 15 ක පරිත්‍යාගයක් සිදු කිරීම සම්බන්ධයෙන් සමුළුව අමතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේ ය.
''මම විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට අපගේ ස්තූතිය පළ කරනවා. දෙරට අතර බෞද්ධාගාමික සබඳතා වර්ධනය කිරීම සඳහා ඔබ විසින් ලබා දුන් ඩොලර් මිලියන 15 ක පරිත්‍යාගය පිළිබඳව.අග්‍රාමාත්‍යතුමනී, මම හිතනවා ඔබ අද මෙම කුෂිනගර් නැවතත් ලෝකයාට විවෘත කිරීමෙන් ඉතිහාසගත වනවා කියලා''
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සමුළුව අතමින් පැවසුවේ, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඉන්දියානු ව්‍යවස්ථාව සැකසීමේදී පවා උත්තේජනයක් සපයා ඇති බවයි.
''බුදුදහමේ ඉගැන්වීම් අපි භාර ගන්නවා නම්, අපි කටයුතු කළ ආකාරය ගැන අපිට පැහැදිලි ආකල්පයක් ඇති කර ගත හැකියි. ඉන්දියානු ව්‍යවස්ථාව ගත්තාම එයට උත්තේජන සපයන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්. ඒ නිසයි ජාතික කොඩියේ පවා අපි ධර්ම චක්‍රය යොදලා තියෙන්නේ''
මේ අතර ඉන්දීය බැතිමතුන්ට වන්දනාමාන කරගැනීම සඳහා වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත්කර තිබූ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට භාර කිරීම ඊයේ සිදුකෙරිණ. ධාතුන් වහන්සේ අද අලුයම ඉන්දියාවට වැඩම කරවූ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. මේ අතර කැලණිය රජමහා විහාරස්ථානයේ ඇති සිතුවම්වලින් සකස්කළ විශේෂ ඡායාරූප දෙකක් ද අද විවෘත කළ කුෂිනගර් නව ගුවන් තොටුපොළේ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.

ඇමති නාමල් ඉන්දීය අගමැති හමුවෙයි

මේ අතර ඉන්දියාවට ගොස් සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබේ. ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඉන්දියාවෙන් ලද විශිෂ්ටතම ත්‍යාගය බුදුදහම බවයි. භගවත් ගීතා ග්‍රන්ථයේ සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තන ඇතුළත් පළමු පිටපත නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට භාර දී තිබේ. එම ග්‍රන්ථයේ කරුණු අන්තර්ගතව ඇත්තේ මිනිසෙකු ලෙස ජීවත් විය යුතු ආකාරය පිළිබඳවයි. https://www.youtube.com/watch?v=lFnFPUE-ik4