21 පාසල් නොයන ගුරුවරු ගැන වයඹ ආණ්ඩුකාරවරයාගෙන් දැඩි තීන්දුවක්

by Staff Writer . 19-10-2021 | 10:04 PM

COLOMBO (NEWS1ST): පොහොර හා කෘෂි රසායනික අර්බුදය වගේම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවත් තවමත් අවසන්ව නොමැත.

අනිද්දා 21 වෙනිදා සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට රජය මේ වනවිට තීරණය කර තිබේ. නමුත් ගුරු, විදුහල්පති සංගම් කිහිපයක් පවසන්නේ තමන් ආණ්ඩුව නියම කරන දිනයේ නොව ලබන සඳුදා දිනයේ නැවත සේවයට එන බවයි. තවත් සංගම් කිහිපයක් තමන් අඛණ්ඩ වර්ජනයක නිරතවන බව මේ වනවිට නිවේදනය කර තිබේ. මේ අතර සිසුන් 200 ට අඩු බොහොමයක් පාසල් පළාත් සභා යටතේ පවතින බැවින් පළාත් සභා පරිපාලනයත් දැන් දැඩි තීරණ ප්‍රකාශ කරමින් සිටී. 21 වෙනදා පාසලට නොපැමිණෙන ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප අත්හිටුවීමට සලකා බලන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ සභාපතිවරයාද වන වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද නිවේදනය කළේ ය. මෙරට ප්‍රධානතම වාමාංශික පක්ෂයක් වන ශ්‍රී ලංකාකොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා වන රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ විනය විරෝධි ක්‍රියා සිදුකර 25 වෙනිදාට පාසල්වෙත පැමිණෙන ගුරුවරුන්ට පාසලට ඇතුල්වීමට ඉඩ නොදන බවයි
''කම්කරු නීතියේ හැටියට වර්ජනයක් කළ අවස්ථාවකදී වර්ජකයින්ට පඩි ගෙවන්නේ නෑ. මම දන්නලා තිබෙනවා හෙට ගුරුවරුන්ගේ පැමිණිම සම්බන්ධව විදුහල්පතිවරුන්ගේ පැමිණිම සම්න්ධව සම්පූර්ණ වාර්තාවක් ඉතා ඉක්මනින් ලබාදෙන්න කියලා නාමිකව කවුද ආවේ කවුද නාවේ කියලා ඒ විස්තර ලබාගන්න ඒ විස්තර ලබාගත්තායින් පස්සේ මම අදහස් කරනවා සේවා විනය කඩලා තිබෙනවා නම්, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒක මගේ තීරණයක්. මම අධ්‍යාපන ඇමති මේ අවස්ථාවේ ඒ නිසා මට ඒ බලතල තිබෙනවා. නොපැමිණි අයට මම සලකා බලනවා නොවැම්බර් මාසයේ වැටුප් ලබාදීම අත්හිටුවන්න විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් 25 වෙනිදාට කවුරුවත් ආවොත් විනය විරෝධි ක්‍රියාකරලා ඔවුන්ට පාසලට ඇතුල්වෙන්න ඉඩ දෙන්නේ නැහැ''
මේ අතර දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පසුගියදා පුවත්පත් දැන්වීමක් පළ කරමින් කියා සිටියේ 21 වනදා සිසුන් 200 ට අඩු පාසැල්වල විදුහල්පති සහ ගුරුවරුන් අනිවාර්යෙන් සේවයට වාර්තා කළ යුතු බවයි. පාසලට එන ගුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨතමයා වැඩ බලන විදුහල්පති ලෙස පත්කර පාසල් කටයුතු පවත්වාගෙන යන බව ද එම පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබිණ. මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද කියා සිටියේ නීති පනවා හැමදේම කළ හැකි යැයි මතයක නොසිටින බවයි.
''නීතියෙන් හැමදේම කරන්න පුළුවන් කියන තැනක ඉන්න එපා. නීතියෙන් කළ හැකි දේවල් තියෙනවා. නීතියෙන් කළ නොහැකි දේවල් තියෙනවා. විශේෂයෙන්ම ගුරු වෘත්තියට අදාල ක්‍රියාකාරකම් දැඩි නීතිරීති මැද්දේ මර්දනකාරී එළඹුකින් විසඳගන්න පුළුවන් කියන විශ්වාසයේ අපි නැහැ.ඉතාම පැහැදිලියි ආණ්ඩුවක් විදිහට. මේ අවුරුදු 1 හමාරක නියඟය නිමා කරමින් පොද වැස්සක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා අපි ඉල්ලීමක් විදිහට කරනවා. මේ සියලුම ගුරුවරුන් සියලුම දේශපාලකයන්ට සියලු පුරවැසියන්ට අපි දැන් මේ දරුවන්ගේ නාමයෙන් මේකේ කවුද ජයග්‍රාකයා පරාජිතයා කියලා තීරණය කරන්න එපා. මේකේ ජයග්‍රාහකයා වෙන කවුරුවත් නෙමෙයි, අපේ දරුවෝ''