බන්දුල වර්ණපුර දැයෙන් සමුගනී..

බන්දුල වර්ණපුර දැයෙන් සමුගනී..

by Staff writer 19-10-2021 | 9:02 PM

COLOMBO (News 1st): මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද(19) දැයෙන් සමු ගත්තේ ය.

අභාවප්‍රාප්ත වනවිට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණපුර මහතා 1982 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ඓතිහාසික තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් ක්‍රීඩකයා ය. වසර 7 ක ජාත්‍යන්තර තරග බිමට සමු දීමෙන් අනතුරුව තවදුරටත් මව්බිම වෙනුවෙන් කැප වූ වර්ණපුර මහතා පුහුණුකරුවෙකු සහ පුහුණු අධ්‍යක්ෂ මෙන්ම මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙය සුවිශේෂීය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරකවරයෙකු සහ විනිසුරුවරයෙකු මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිල සංවර්ධන කළමනාකරු ලෙසද ඔහු කලක් කටයුතු කළේ ය. අද පස්වරුවේ සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව බන්දුල වර්ණපුර මහතාගේ දේහය බොරැල්ල කනත්තට රැගෙන එනු ලැබුවේ ය. කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්, සිසු දරුවන්, ඔහු නියෝජනය කළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේ ය. ජීවන ඉනිම අවසන් කළ බන්දුල වර්ණපුර මහතාණෙනි, ඔබට නිවන් සුව.!