පළාත් සභා ඡන්දය ළඟදි පවත්වයි ද?

by Staff Writer . 19-10-2021 | 11:02 PM
COLOMBO (NEWS1ST):  පළාත් සභා ඡන්දය ළඟදී පවත්වයි ද? මේ පිළිබඳව යළිත් සංවාදයක් ඇතිවුණේ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමගයි. අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් සභා ඡන්දය පිළිබඳව ස්ථාවරය පැහැදිලි කළේ ය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මැතිවරණ ක්‍රමය පිළිබඳ පවතින ගැටලුව නිරාකරණය කර ගත යුතුව ඇති බවයි.
''මැතිවරණය පවත්වන්න නම් ප්‍රධාන දේශපාලන අයතන හතරට මැතිවරණ ක්‍රම 4 ක් ආදේශ වෙලා. ඉතින් ඒ නිසා මේ විකෘතිය නැති කරන්න ඕනේ ඒ නිසා තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ, මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. සමානූපාතික මැතිවරණ ක්‍රමයේ තියෙන සාධනීය ලක්ෂණ රැකගෙන අනාගතයේ දවසක මට නිශ්චිතව කාල වකවනුවක් නීර්ණය කරන්න පුළුවන්කමක් නෑ. මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් අනතුරුව ඒක පවත්වන්න කටයුතු කරාවි''
මාධ්‍යවේදි ප්‍රශ්නය :- ඉන්දියාවෙන් ණය මුදල ලබාදෙනවා අපිට ඉන්නධන ලබාගන්න නමුත් ඔවුන් කියනවා. මේ වසර අවසන් වෙන්න කලින් පළාත්සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා කොන්දෙසියක් මත තමයි ඉන්දියාවෙන් ඉන්ධන ලබාගනන්න ණය මුදලක් ලබාදෙන්නේ.? පිළිතුර (කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම) :- මේ ඉන්දියානු ණය ක්‍රමයයි මේ පළාත් සභා මැතිවරණයයි අතරේ කිසිදු සම්බන්ධයක් නෑ මාධ්‍යවේදි ප්‍රශ්නය :- ඇමතිතුමනි කොන්දේසි නැතුවද ඒ ගොල්ලෝ ණය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පිළිතුර (කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම) :- කොන්දේසි තියෙන්න පුළුවන්නේ ණයකට කොන්දේසි නැති වෙන්නේ නෑ. හැබැයි මම නිශ්චිතව කියනවා පළාත් සභා මැතිවරණය කිසිදු කොන්දේසියක් ලෙස එහි සඳහන් වෙන්නේ නෑ. මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මෙය වාසිදායක අවස්ථාවක් නොවන බවයි. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, ජනතාව කලකිරීමකින් සිටින මෙම අවස්ථාව ඡන්දයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නොවන බවයි.
''ඒ නිසා වහාම කරන්න ඕනා එක් පැත්තකින් පනතක් ගෙනල්ලා සංශෝධනය කරන්න ඕනේ. ඒකට ජනවාරි පෙබරවාරි වෙන්න පුළුවන්. ඒ වගේම ඉන් පස්සේ ඒ එක්කම කරන්න ඕනේ ජනතාවට සහන දීලා මේ මිනිස්සු කබලෙන් ළිපට වැටෙන එක නවත්තලා යම් කටයුත්තක් කරන්න. ඒකට තව මාස 7- 8 යන්න පුළුවන්. ඒ ගියහම ආණ්ඩුව මෙතෙක් ගත්ත බොහෝ දේ එක්ක ජනතාව එකග වෙයි. ඉන්පස්සේ අපි ඡන්දයක් තියලා දිනන්න පුළුවන්. හැබැයි එහෙම නොසිතා හෙට ඡන්ද තියන්න බැහැ. වගේම තිබ්බොත් ඒක ආණ්ඩුවට වාසි වෙන්නෙත් නැහැ''