නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි..

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි..

by Staff writer 19-10-2021 | 7:49 AM

COLOMBO (News 1st): ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ඡන්ම දිනය හෙවත් මිලාත් උන් නබි උත්සවය අදට(19) යෙදී තිබේ.

ක්‍රිස්තු වර්ෂ 571දී නබිනායකතුමාගේ උපත සිදු වූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදී ය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබුණි. මේ අතර, මුහම්මද් නබිනායකතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කොට සහජීවනය ඇති කිරිම ඉස්ලාමීය බැතිමතුන් එතුමාට දක්වන විශේෂ ගෞරවයක් ලෙස දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මුහම්මද් නබිතුමාගේ ඡන්ද දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ය. නබිතුමාගේ ජීවිතාදර්ශයට ගරු කරන ශ්‍රී ලාංකික මෙන්ම ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත අලෝකවත් වී සියලු දෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න තම ප්‍රාර්ථනය බව ද, එම නිවේදනයේ සඳහන් ය. මේ අතර, නබිතුමාගේ ඉගැන්වීම් අනුව, සියලු ඉස්ලාම් ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් දිය හැකි බව තම විශ්වාසය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ගතකරන මෙවැනි දුෂ්කර කාලවකවානුවක් ජයගැනීමට නබිතුමාගේ ජීවිත ආදර්ශය තම ජිවිතයට සමීප කරගන්නැයි, ඉස්ලාම් ජනතාවට සිහිපත් කරන බවයි. මේ අතර, ලොව සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය සෑම දෙනාගේම දෛනික ජිවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතුවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුහම්මුද් නබිතුමාගේ ඡන්ද දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායකවරයා පවසන්නේ, නබිතුමාගේ ඉගැන්වීම් තුළින් ස්වකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන සකල ඉස්ලාම් බැතිමතුන්ට සුභාශිංසන එක් කරන බවයි.