''මේක ඇමරිකාවට පාලනය භාර දුන්නා හා සමානයි''

''මේක ඇමරිකාවට පාලනය භාර දුන්නා හා සමානයි'' - අජිත් පී. පෙරේරා

by Staff Writer . 18-10-2021 | 10:09 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව 11 ක් LNG ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබිණ.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම්දී ඇත්තේ රජයේ හවුල්කාර පාර්ශ්වයන් ලෙස මතුවන දේශපාලන ගැටලු මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් සමග සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවයි. කැබිනට් මණ්ඩලයේදී හා ආණ්ඩු පක්ෂ කණ්ඩායමේදීත් මේ ගැන විවෘතව කථා කිරීම තමා සමග පෞද්ගලිකව කථා කිරීමට වඩා සුදුසු බව ද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ. මේ අතර මාධ්‍යවේදීන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් LNG බලාගාරය සම්බන්ධව ප්‍රශ්න කළේ ය. ඊට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
''ඒ සම්බන්ධවත් අපි අපේ මතය දන්වලා තියනවා. ජනාධිපතිතුමාට දන්වලා තියනවා. අපි ඒ ගැන දන්වලා තියනවා. අපේ ඇමතිවරු කතා කරලා තියනවා''
තව ද නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාත් අද මේ පිළිබඳව අදහස් පළ කළේ ය.
''අපි මේ ගැටලුව පිළිබඳව ජනාධිපතුමාට ඉතාම පැහැදිලි විස්තර සහිතව ලිපියක් යොමු කළා. පක්ෂ නායකයින් විසින්, ඒකට එතුමා පිළිතුරු එවලා තියෙනවා. ඒ සම්බන්ධව සකච්ජා කරන්න කියලා විශේෂයෙන් දේශපාලන ප්‍රශ්න හා අගමැතිතුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක. ඊට අමතරව එම කරුණ ගැන විශේෂයෙන් විශේෂඥ දැනුම තියෙන අයත් එක්ක සාකච්ජා කරන්න කියලා තමයි එතුමා අපිට ලියලා එවලා තියෙන්නේ. තවම අපිට එතුමා එක්ක සාකච්ජාවකට අවස්ථාව ලබලා දිලා නෑ''
ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරු කෙරවලපිටිය බලාගාර ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී මුදල් ඇමැති හා අගමැති සමග සාකච්ඡා කරන්න යැයි, රටේ විධායක බලය සහිත ජනාධිපතිවරයාට පවසන්නේ මන්දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටී.
''ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන කොට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට විකුණන්නේ ඇයි කියලා LNG සැපයිමේ ඒකාධිකාරි බලය ඇමෙරිකාවට විකුණන්නේ ඇයි කියලා , ජනාධිපතිතුමා කියනවා. ඒක ඉතින් අහන්න ඕන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් තමයි කියලා .දැන් රටේ විධායක බලය තියෙන 20වෙනි සංශෝධනයෙන් ශක්තිමත් වෙච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එහෙම කියන්න පුළුවන්ද? මොකද ඒකට හේතුවක් තියෙනවා. එහෙම කියන්න .එතුමයි ඇමෙරිකා එක්සත් ජනපදයයි අතර තියෙන සම්බන්ධය. මේ බරපතළ තත්ත්වය අපි කලින් කිව්වා.ඇමෙරිකාව සමග සම්බන්ධකම් තියෙන තමන්ගේ පවුලේ සාමාජිකයෝ ඇමෙරිකාවේ පුරවැසියෝ වෙච්ච මේ දේශපාලනය ඉවර වුණාමත් නැවත වරක් ඇමෙරිකාවට යන්න පුළුවන්කම තියෙන මේ අයට මේ රටේ පාලනය භාර දෙන කොට මේ ඇමෙරිකාවට පාලනය භාරදුන්නා හා සමානයි කියලා අපි දකින්නේ''
- සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක, අජිත් පී. පෙරේරා -